ලාස්වේගාස් ප්‍රහාරය - මරණ 59ක් තුවාලකරුවන් 527ක්


(UPDATE) ලාස් වේගාස් සංගීත ප්‍රසංගයක් ඉලක්ක කරමින් එල්ල වූ විවෘත වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය පිරිස 59ක් දක්වා ඉහළ යමින්, තුවාල ලැබූවන් 527ක් දක්වා වැඩි වෙයි.


ඇමෙරිකාවේ, නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි ලාස් වේගාස් හි පෙරේදා (01දා) රාත්‍රියේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක් අතරතුර එල්ල වූ වෙඩි තැබීමෙන් මියගිය පිරිස 58ක් දක්වා වැඩි වෙමින්, තුවාල ලැබූ පිරිස 515ක් වූ බව විදෙස් වාර්තා පවසයි.

එහිදී, තුවාල ලැබූවන් අතර බරපතළ තත්ත්වයේ පසුවූවන්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඇමෙරිකානු වේලාවෙන් රාත්‍රී 10.45 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ, රූට් 91 හාවස්ට් සංගීත සැණකෙළියේ තෙවැනි හා අවසන් දින රාත්‍රී සංගීත ප්‍රසංගය අතරතුරදීය.

මෙම සංගීත ප්‍රසංගය පැවැත්වුණු පරිශ්‍රයට ආසන්නව පිහිටි සුප්‍රසිද්ධ 'මැන්ඩෙලා බේ කැසිනෝ' හෝටලයේ 32 වැනි මහලේ සිට එම වෙඩික්කරුවා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලීසිය පවසයි. එහිදී ඔහු ලාස් වේගාස්හි මාවත වෙතද සිය වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණි. ඔහු යොදා ගත් අවිය ස්වයංක්‍රීය ගිනිඅවියක් බවත්, ඒ හේතුවෙන් සිදුවූ හානිය අති විශාල බවත් පොලීසිය පවසයි.

ප්‍රහාරය එල්ල කළ තැනැත්තා එම පළාතේ පදිංචි 64 හැවිරිදි ස්ටීවන් පැඩොක් නැමැත්තෙකු බව පසුව හඳුනා ගැනුණු අතර, පොලීසිය ඔහු රැඳී සිටි හෝටල් කාමරයට යනවිටත් ඔහු සියදිවි හානි කරගෙන තිබුණි. එහිදී, පොලීසියට ගිනි අවි 10ක් හමුවූ බවද පොලීසිය තහවුරු කරයි..

වෙඩික්කරු මීට මාස කිහිපයකට පෙර ඉස්ලාම් දහම වැළඳ ගත්තෙකු බව පවසමින්, ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබුණත්, ප්‍රහාරය සමග ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක සබඳතාව මේ දක්වා තහවුරු වී නොමැති බව FBI ආයතනය අවධාරණය කරයි.

මේ අතරම වෙඩික්කරුවා සමගින් පැමිණි ඔහුගේ පෙම්වතිය බව කියන ආසියානු සම්භවයක් සහිත මාරිලොයු ඩැන්ලේ පොලිස් අත්අඩංගුවට පත්වූවද, ඇය මෙම ප්‍රහාරය හා සබඳතාවත් නොමැති බව පොලීසිය විශ්වාස කරයි.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ මෙය තනිකරම මහා අපරාධයක් බවයි. තුවාල ලැබූවන්ගේ ජීවිත රැකගැනීමට දරණ උත්සාහය අගය කළ ජනපතිවරයා බදාදා දිනයේ ලාස් වේගාස් වෙත පැමිණීමටද නියමිතය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ මහා ඛේදවාචකයක් ලෙස ඉතිහාසගත වනු ඇත.

06 02 03 04 05 07 08



Recommended Articles