ලන්ඩන් ගින්නේ මරණ 100 පනීවි - 76ක් අතුරුදන්


බටහිර ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් මියගිය පිරිස 30ක් ලෙස තහවුරු කළත්, තවත් 76 දෙනෙකු අතුරුදන් ලයිස්තුවේ සිටීම හේතුවෙන් මියගිය පිරිස 100 ඉක්මවා යනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, මෙම ගින්නට හසුවී මියගිය ඇතැම් අයගේ වගතුග සොයා ගැනීමට අපොහොසත් විය හැකි බවද ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලීසිය කියයි.

මේ අතර, ගින්නෙන් රෝහල්ගත කළ පිරිසෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ 17 දෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වූ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම ඛේදවාචකයෙන් පසුව ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ වාසය කළ පිරිස් වෙනුවෙන් පවත්වාගෙන යන සහන මධ්‍යස්ථානය වෙත ඊයේ දිනයේදී දෙවැනි එළිසබෙත් මහ රැජින සහ විලියම් කුමරු පැමිණියහ.

මෙම ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසූ රාජකීයයන් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලූ බවද විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, මෙම හදිසි අවස්ථාවේදී නොපසුබටව ක්‍රියාකළ ගිනි නිවන හමුදාවේ සහ ස්වේච්ඡා සහන සේවකයන්ගේ නිර්භීතභාවය සහ පරිත්‍යාගශිලීත්වය මහ රැජිනගේ පැසසුමට ලක්ව තිබේ.

පසුගිය 14 වැනිදා අලුයම් කාලයේදී හටගත් ගින්න හේතුවෙන් පැය කිහිපයක් ඇතුළත ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණය සම්පූර්ණයෙන්ම දැවී ගියේය.

ඒ අනුව, දැවී ගිය ගොඩනැගිල්ල තුළ මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් සිදු වුවත්, බොහෝ දෙනෙකු ගින්නෙන් සම්පූර්ණයෙන්ම දැවී යන්නට ඇති බවද සහන කණ්ඩායම් විශ්වාස කරති.



Recommended Articles