ලන්ඩනයේ ප්‍රචණ්ඩක්‍රියා නොවූවිරූ ඉහළ යෑමකලු


මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් 2018 වසරේදී මේ දක්වා මනුෂ්‍ය ඝාතන 60කට වඩා සිදුව ඇති බවත්, එම ඝාතනයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණය පිහි ඇණුම් බවත් වාර්තා වෙයි.

ලන්ඩනය පුරා පැතිර යන ඝාතන රැල්ලේ පසුගියදා වඩාත් කතාබහට ලක්වූ සිදුවීම ලෙස වයස අවුරුදු 17ක රහ්යිහෙයිම් තරුණයා වෙඩි තබා ඝාතනයට ලක්වීම විදෙස් වාර්තා ගෙනහැර දක්වයි.

සති අන්ත බැංකු නිවාඩුව අතරතුර ලන්ඩනයේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ සිව්දෙනා අතරින් එක් අයෙකු ලෙස මෙම නව යොවුන් වියේ තරණයා හැඳින ගැනෙයි. මීට අමතරව, වීල්ඩ්ස්ටෝන් හිදී වයස අවුරුදු 13ක සහ 15ක පිරිමි දරුවන් දෙදෙනෙකු එදින වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණු අතර, ලෙවිෂාම් හිදී අවුරුදු 22ක තරුණයෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබුණි. කෙසේ වෙතත්, එම ප්‍රචණ්ඩත්වය හමුවේ මොවුන් තිදෙනාගේ ජීවිත හානි නොවීම වාසනාවකි.

මේ අතර, ලන්ඩනයෙන් වාර්තා වන නවතම සිදුවීම වන්නේ ඊලින්ග් ප්‍රදේශයේදී පිහි ඇණුමකට ලක්වූ 43 හැවිරිදි මැදිවියේ පුද්ගලයෙකි. ඔහු නිවස බලා යමින් සිටියදී තවත් අයෙකුගේ වාහන පැදවීමේ දෝෂයක් ගැන ඇති කරගත් වාදයකින් මෙම පිහි ඇණුම සිදුව තිබුණත්, ඉන් ජීවිත හානියක් සිදුව නොතිබුණි. එනම්, මෙය සුළු නොරිස්සුම් තත්ත්වයක් මනුෂ්‍ය ඝාතන තැතක් දක්වා පෙරලුණු අවස්ථාවක් බව පොලීසිය අවධාරණය කරයි.

මුලින් සඳහන් කළ රහ්යිහෙයිම් තරුණයා ඝාතනය වී තිබුනේ වෝහැම් වීදියේ මිතුරන් පිරිසක් සමග පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටි අවස්ථාවේදීය. සෙනසුරාදා සවස එල්ල වී තිබූ වෙඩි ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොතිබුණි. මෙම තරුණයා කිසිදු මැර කණ්ඩායමකට සම්බන්ධකම් නොකී බවත්, ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙකු වීමේ සිහිනයෙන් පසුවූවෙකු බවත් ඔහුගේ මව පවසා තිබුණි.

කෙසේ වෙතත්, ලන්ඩනයේ ඇති වී තිබෙන මෙම ඝාතන රැල්ල සම්බන්ධයෙන් එරට විරුද්ධ පක්ෂ විසින් රජයට දැඩිව චෝදනා කරමින් සිටියි. මෙම ඝාතන රැල්ල සිදුවන්නේ කෙසේද, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට කිසිදු අවබෝධයක් හෝ වැඩපිළිවෙළක් නොමැති බව ඊස්ට් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ, අපරාධවේදී ඇන්තනී ගන්ටර් පවසයි.

කෙසේ වෙතත්, මේ වනවිට නගරය පුරා වැඩි පොලිස් ආරක්ෂාවක් සහ පොලිස් මුර සංචාර යොදවා ඇති අතර, පොලිස් සුනඛයන්ට අමතරව, ගුවන් නිරීක්ෂණයන්ද යොදා ගන්මින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නිල දත්ත වාර්තාවන්ට අනුව පසුගිය වසරේදී ලන්ඩනය තුළ සිදුව ඇති මනුෂ්‍ය ඝාතන 44%කින් ඉහළ ගොස් තිබේ. එනම්, පසුගිය වසරේදී පමණක් ඝාතන 157ක් සිදුව ඇති අතර, ඉන් 8ක් වෙස්ට්මිනිස්ටර් පාලම මත සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවූ ඒවාය. කෙසේ වෙතත්, මෙම වසරේ මේ දක්වා අගනගරය තුළ පුද්ගල ඝාතන 60ක් සිදුව ඇති අතර, ඉන් අඩකට වැඩි ප්‍රමාණය පිහි ඇණුම් හේතුවෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතනය ගණයට වැටෙයි.

ඒ අනුව, මහා ව්‍යසනයක් ලෙස ලන්ඩනය පුරා පැතිර යන ප්‍රචණ්ඩත්වයේදී විශේෂයෙන් බාල වයස්කරුවන් මෙන්ම නව යොවුන් වියේ තරුණයද එම ඝාතන රැල්ලේ පාර්ශ්වකරුවන් බවට පත්ව ඇති බව පොලීසිය පවසයි. ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් පිරි ජීවන රටාවන්ට සහ පාතාල ජීවිතයට ඇලුම් කිරීම තුළ මෙම ව්‍යසනයෙන් ලන්ඩනය බේරාගැනීමට නම් විධිමත් දැනුම්වත් කිරීමේ සහ අධ්‍යාපන වැඩසටහන් තුළින් ඔවුන් නිවැරදි මාර්ගයට ගැනීමේ වගකීමක් පවතින බව හිටපු මෙට්‍රොපොලිටන් පොලිස් ප්‍රධානියෙකු වන ලෙරෝයි ලොගාන් අවධාරණය කරයි.

1_London 2 3



Recommended Articles