ලන්ඩනයේ තවත් ත්‍රස්ත සැලසුමක් ව්‍යර්ථ කෙරේ


බ්‍රිතාන්‍යයේ වයඹදිග ලන්ඩනයේ, විල්ස්ඩෙන් හි නිවසකට හදිසියේ කඩා වැදුණු ආරක්ෂක අංශ විසින් එක් අයෙකුට වෙඩි තබමින් තවත් ත්‍රස්ත සැලසුමක් ව්‍යර්ථ කිරීමට සමත්ව තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ වයස ඇවුරුදු 20 පසුවන කාන්තාව පොලීසියේ උකුසු ඇසට හසුවූ අයෙකු වන අතර, ඇය වෙඩි ප්‍රහාරයකට ලක්වුවත්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වෙයි.

මේ ආකාරයේම ආරක්ෂක මෙහෙයුමක් කෙන්ට් හිද සිදුවී ඇති අතර, එහිදී පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කියයි.

පසුගිය බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසලදී ත්‍රස්ත සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය හා මෙම සිද්ධිය අතර සම්බන්ධයක් නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

විල්ස්ඩෙන් හි පිහිටි මෙම නිවස ආරක්ෂක අංශ විසින් නිරන්තරයෙන් සුපරීක්ෂාවට ලක්කළ නිවසක් බවද මේ වනවිට අනාවරණය වෙයි.

ගතානුගතික ඉස්ලාමීය පවුලක් මෙහි රැඳී සිට ඇති අතර, ඔවුන් සෝමාලියාවෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූවන් ලෙස සැලකෙයි.

මෙට්‍රොපොලිටන් පොලීසියේ නියෝජ්‍ය සහකාර කොමසාරිස් නීල් බාසු පවසන්නේ මෙම සැකකරුවන් විසින් ඇති කර තිබූ ත්‍රස්ත අවදානම සැලකිල්ලට ගනිමින් මේ දින දෙකේදීම සිදුවූ හදිසි අත්අඩංගුවට ගැනීම් හේතු වූ බවයි.

එමෙන්ම, මේ අත්අඩංගුවට ගැනීම සමග ත්‍රස්ත සැලසුමක් ව්‍යර්ථ වී ගියේද යැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ඔහු එය සනාථ කළේය.

ඔවුන් ආයුධ සන්නද්ධව හා ආයුධ නොමැතිව සැකකටයුතු සිද්ධීන් රැසක් සිදුකර ඇති බව පැවසූ පොලිස් ප්‍රධානියා පවසන්නේ, සිය ආරක්ෂක අංශ තම ජීවිත කැප කරමින් සිදුකරන මෙවැනි මෙහෙයුම් මෙන්ම, ජනතාව නොදැක සිදුවන මෙහෙයුම් රැසක්ද ත්‍රස්ත අවදානම පිටුදැකීම සඳහා සිදුවන බවයි.

යුරෝපය පුරා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත අවදානම පැතිරෙන අතරතුර, මේ වනවිට මහා බ්‍රිතාන්‍ය තුළත් හුදකලා ත්‍රස්ත අවදානම්වල ඉඟි මෙම මෙහෙයුම් හා අත්අඩංගුවට ගැනීම් හරහා ප්‍රකට වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles