රොහින්ග්‍යා අර්බුදය සමග ගලන කිඹුල් කඳුළු ගැනයි


රොහින්ග්‍යා ප්‍රජාවට මියන්මාරයෙන් අගතියක් වන බව පවසමින් බංග්ලාදේශ බෞද්ධ සංවිධානයක් ඔවුන්ගේ ෆනුෂ් පහන් කූඩු ප්‍රදර්ශනය නවතා එම මුදල් රොහින්ග්‍යා ජනතාවගේ සුබ සාධනයට ලබාදෙන්නේ යැයි ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන් වාර්තා කර තිබේ.

තමන්ට බෞද්ධයන් ලෙස මෙවැනි කෘර වැඩවලට සහාය ලබාදීමට නොහැකි යැයි මෙම බෞද්ධ සංවිධාන පවසා ඇති බවත්, ධර්ම මාර්ගය අනුගමනය කරමින් මීට සාමකාමී විසඳුමක් සොයාගැනීමට මියන්මාරයට බලකිරීම ඔවුන්ගේ වෑයම බව ඔවුන් පැවසූ බවත් එම මාධ්‍ය වාර්තාවල විශේෂයෙන් හුවා දක්වමින් වාර්තා කර ඇත.

ඒ අනුව, රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් මියන්මාරයේ ජනතාව මෙන්ම, බෞද්ධයන් වෙසෙන ශ්‍රී ලංකාවේ ජනතාවද ප්‍රකෝපකාරී හැසිරීමක් පෙන්වන බවත්, එසේ වුවද බංග්ලාදේශ බෞද්ධ සංවිධාන රොහින්ග්‍යාවරුන් ගැන සිතා සානුකම්පිත පියවරක් ගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තාවලින් පැවසීමට උත්සාහ කර ඇති බව මොනවාට පැහැදිලි වෙයි.

මෙම ගුජුප්සාජනක මාධ්‍ය වාර්තා දෙස බැලීමේදී බංග්ලාදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හා ප්‍රජාවට එල්ල වී ඇති ම්ලේච්ඡ ප්‍රහාර පිළිබඳ එක අකුරක් මෙවැනි මාධ්‍යවල වාර්තා නොවූ බවද සැබෑවකි. වර්තමානයේ පවා බංග්ලාදේශයේ ජීවත්විය නොහැකිව ශ්‍රී ලංකාවට පැමිණ වාසය කරන භික්ෂූන් වහන්සේලා බොහෝ දැකිය හැකිය. එමෙන්ම, බංග්ලාදේශයේ යම් බෞද්ධ විහාරස්ථානයක් පවතින්නේ නම් එය අතිශය ආරක්ෂා සහිතව පවතින්නකි. එවැනි දැඩි ඉස්ලාමීය අන්තවාදී පරිසරයක සිටින සුළුතර බංග්ලාදේශ බෞද්ධ ප්‍රජාවට මෙවැනි ප්‍රකාශයක් කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බවද පුදුමයක් නොවේ.

එමෙන්ම, එදා එල්.ටී.ටී.ඊ යුද සමයේදීද දෙමළ ඩයස්පෝරාවේ ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට සිදුකළ මහා චිත්‍රපට හා නාටක මෙන්ම, දිනපතා ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන් විසින් සිදුකළ වාර්තා කිරීම් සිහිබුද්ධියෙන් යුතුව මේ ගැන අවධානයෙන් සිටි ඕනෑම අයෙකුට අමතක කළ නොහැකිය.

ඒ අනුවම යමින් මියන්මාරයේ රඛයින් පළාතේ ඉස්ලාමීය වහාබ්වාදයක් වපුරමින්, දැවැන්ත බෞද්ධ රාජ්‍යයක් තුළ වෙනමම මුස්ලිම් ප්‍රාන්තයක් කඩාගැනීමේ ම්ලේච්ඡ සටනක නිරත ත්‍රස්තවාදීන් වෙනුවෙන් එම ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම, ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ද රෙදි නොමැතිව කඩේ යන බව ඔවුන්ගේ වාර්තා කිරීම් හමුවේ අප අවධානයෙන් සිටිය යුතු කරුණකි.

අද දිනයේදී මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන්ග් සාන් සුඛී එරට පාර්ලිමේන්තුවේදී ජාතිය අමතමින් කියා සිටියේ  මියන්මාරයේ රඛයින් පළාත තුළ ඔඩුදුවා ඇති රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සිදුකරන විමර්ශන පිළිබඳව තමන් බිය නොවන බවයි. එමෙන්ම, මෙම අර්බුදයේදී පීඩාවට පත්ව සිටින සියලුම ජනතාව පිළිබඳව තමන් බලවත් ශෝකයට පත්වන බවත්, එම පළාතේ වෙසෙන සියලුම ජනවර්ග වෙත සාධාරණයක් ඉටු කෙරෙන තිරසාර විසඳුමක් ලබාදීම පිළිබඳව තමන් කටයුතු කරන බවත් ඇය මෙහිදී පවසා තිබේ.

පසුගිය අගෝස්තු 25 වැනිදා රොහින්ග්‍යා ආයුද සන්නද්ධ කණ්ඩායම් මියන්මාර පොලිස් ස්ථාන 30ක් ඉලක්ක කරමින් එල්ල කළ දරුණු ප්‍රහාරයෙන් පසුව ඇති වුණු මෙම ආසන්නතම රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සම්බන්ධ ගැටලුවේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිටත් ලක්ෂ හතරකට අධික රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක් බංග්ලාදේශය වෙත පලා ගොස් සිටිති. ඒ පිළිබඳව පළ වන විදෙස් මාධ්‍ය වාර්තාද සමගින් ජාත්‍යන්තරය මේ වනවිට මියන්මාරයට මෙන්ම සුඛී වෙතද දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින බව නොරහසකි. ඒ අනුව සුඛීගේ මේ අදහස් දැක්වීම එම පාර්ශ්ව සියල්ලන්ටම පිළිතුරක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

සිය අදහස් දැක්වීමේදී වැඩිදුරටත් කරුණු දැක්වූ සුඛී එරට තුළ සිදුවන බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය වීම් සහ නීතිවිරෝධී අපරාධ සියල්ල ප්‍රතික්ෂේප කළාය. ඒ අනුව සැප්තැම්ර් 5 වැනිදා පටන් මෙම ජනතාව ඉවත්කිරීම සඳහා කිසිදු ආයුද සන්නද්ධ ගැටුමක් ඇති නොවූ බව බවද ඇය අවධාරණය කළාය.

කෙසේ වෙතත් ගෙවුණු කාලසීමාව තුළදී මෙම ජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම්වල තත්ත්වය ඉහළ නැංවීම සඳහා මියන්මාර රජය කටයුතු කර ඇති බවද පැවසූ සුඛී, බංග්ලාදේශය වෙත පලා ගොස් සිටින සියලුම සරණාගතයන්ට නිසි පරීක්ෂා කිරීමකින් අනතුරුව යළිත් රඛයින් පළාත වෙත පැමිණීමේ හැකියාව පවතින බවද පවසා සිටියේ රොහින්ග්‍යාවරුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන සියල්ලන්ටම අතුල් පහරක්ද එල්ල කරමිනි.



Recommended Articles