මියන්මාරයේ සුළුතර මුස්ලිම් ජනගහනයක් ජීවත්වන රඛීනේ ප්‍රාන්තයේ රොහින්ග්යා ජන සංහාරයක් සිදුවන බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත්කළ කොමිසම නිර්දේශ කර තිබේ.
මියන්මාර රජය විසින් මෙම විශේෂ කොමිසම පත් කෙරුණේද, විදෙස් රාජ්‍යයන්ගෙන් හා ඇතැම් මාධ්‍යයන්ගෙන් මියන්මාරය වෙත එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමිනි.
කෙසේ වෙතත්, රඛීනේ පළාතේ ජීවත්වන සුළුතර ජනතාවට එරෙහිව දරුණු වදහිංසනයක් සිදුකරන බවට කෙරෙන ප්‍රකාශ හා තොරතුරු සනාථ කිරීමට තරම් සාක්ෂි නොමැති බව එම කොමිෂන් වාර්තාවෙන් වැඩිදුරටත් ප්‍රත්‍යක්ෂ වී තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙම ප්‍රාන්තයේ සිදුවන හමුදා ක්‍රියාමාර්ග සමග එම සුළුතර මුස්ලිම් ජනතාව හිංසනයට පත්වන බවට මෙම චෝදනා මූලික වශයෙන් කෙරිණි. කෙසේ වෙතත්, මහා මනුෂ්‍ය සංහාරයන් කිසිදු ගණනකට නොගෙන සිදුකරන බලවත් රාජ්‍යයන්හි මාධ්‍යයන් විසින්ම ඒ කරුණු නිරන්තරයෙන් උලුප්පා දක්වන ආකාරයද පසුගිය කාලය පුරාවට දැකිය හැකිවිය.
විශේෂයෙන්ම, මියන්මාරය වැනි ස්වාධීන රාජ්‍යයකට ඔවුන්ගේ රටේ ස්වෛරීත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නිදහසක් පැවතියත්, ඔවුන් මහා අපරාධකරුවන් ලෙස හුවා දක්වමින් සැලසුම්සහගතව ගොතන පුවත් වාර්තා හුදු පටු අරමුණු ඉලක්ක කරමින් නිරන්තරයෙන් ගෙනහැර දක්වන ආකාරයද දැකිය හැකිවිය.
මෙය මූලික කරගනිමින් නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූ කී වෙතද චෝදනා කිරීම අරඹා ඇති බව ස්වාධීන මාධ්‍ය ආයතන පෙන්වා දෙයි.