රුසියානු යානා අනතුරේ මළ සිරුරු සොයා දීර්ඝ මෙහෙයුම්


රුසියානු ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් යානයක් පුද්ගලයන් 92දෙනෙකු සමග කළු මුහුදට කඩා වැටීමෙන් පසුව එම යානයේ ගමන්ගත් පිරිසේ මළ සිරුරු සොයා සිදුකරන මෙහෙයුම් දිවා රාත්‍රී නොබලා සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම මෙහෙයුම සඳහා පුද්ගලයන් 3,500ක්, නෞකා, ජෙට් යානා, හෙලිකොප්ටර් සහ කුඩා සබ්මැරීන යොදාගෙන ඇති බවද කියයි.

Tu-154 වර්ගයේ යානය සිරියාව වෙත ගමන් කරමින් තිබියදී මෙම අනතුරට මුහුණ දුන්නේ රුසියාවේ සෝචි ගුවන් තොටුපොළින් ඉන්ධන ලබාගෙන යළි කළු මුහුද හරහා ගමන් අරඹා විනාඩි දෙකක් ගතවීමත් සමගිනි.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි ගමන්ගත් පිරිස අතර, එරට හමුදා සංගීත කණ්ඩායමක සාමාජිකයන් 65 දෙනෙකුද ගමන් කරමින් සිටියේ නව අවුරුදු උදාව අවස්ථාවේදී සිරියාවේ වෙසෙන රුසියානු හමුදා සාමාජිකයන් සඳහා අවුරුදු සංගීත ප්‍රසංගයක් පැවැත්වීම වෙනුවෙනි.

ඉරිදා දිනයේදී සිදුවූ මෙම අනතුරින් යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

මෙම සෝදිසි මෙහෙයුමේදී කිමිදුම්කරුවන් 139 දෙනෙකු දවස පුරා එකදු විනාඩියක්වත් අපතේ නොයවමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 10 දෙනෙකුගේ සිරුරු හා තවත් සිරුරු කොටස් 86ක් මේ වනවිට මොස්කව් වෙත රැගෙනවිත් හඳුනාගැනීම් සිදුවන බවද එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම යානා අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට මෙතෙක් තොරතුරු අනාවරණය වීමක් නොමැති අතර, යානයේ තාක්ෂණික දෝෂයක් හෝ නියමුවාගේ අත්වැරැද්දක් අනතුරට හේතුව වන්නට ඇති බව දැනට සිය විශ්වාසය බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත්, යානා අනතුරට හේතුව පැවසීමට ඉක්මන් වැඩි බවද එරට ප්‍රවාහන අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණි.



Recommended Articles