රුසියානු මගී යානය පිපිරවූ බෝම්බය IS හෙළි කරයි


ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට ඉහළ අහසේදී පුද්ගලයන් 224 දෙනෙකු සමග විනාශ වූ රුසියාවට අයත් මෙට්‍රෝජෙට් මගී ගුවන් යානය පුපුරුවා හැරීමට යොදා ගත්තේ යැයි පැවසෙන බෝම්බය IS ඉස්ලාම් රාජ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබේ.

පසුගිය බදාදා (18 දා) නිකුත් කෙරුණු එම සංවිධානයේ නිල සඟරාව වන 'ඩාබික්' හි නවතම කලාපයෙහි එම බෝම්බයේ ඡායාරූපයක් ඔවුන් පළ කර ඇති අතර, එය සෝඩා කෑන් එකක අසුරා එවූ බෝම්බයක් බවද කියයි.

එහිදී, අදාළ බෝම්බය සහිත සෝඩා කෑන් එක, බෝම්බයට අදාළ ඩෙටනේටරය මෙන්ම ප්‍රහාරය සඳහා යොදාගත් තවත් උපකරණයක්ද ප්‍රසිද්ධියට පත්කර ඇති ඡායාරූපයේ දැක්වෙයි.

මෙම යානා අනතුරේ වගකීම මුල සිටම ඉස්ලාම් රාජ්‍යය භාරගත්තද රුසියාව මෙන්ම, ඊජිප්තුවද එය බැහැර කළේය.

කෙසේ වෙතත්, යානය සම්බන්ධ පරීක්ෂණවලදී යානය උඩුගුවනේදී යම් පිපිරීමකට ලක්ව දෙකට වෙන්වී කඩා වැටී ඇති බව අනාවරණය වීමත් සමග මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව ඔවුන්ටද අකමැත්තෙන් වුව පිළිගන්නට විය.

රුසියානු හමුදා සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය ඉලක්ක කරමින් එල්ල කරන ගුවන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දැක්වීමක් ලෙස ඔවුන් මෙම ගුවන් යානය ඉලක්ක කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.



Recommended Articles