රුසියානු බියක් බ්‍රිතාන්‍යයටත් දැනේ - හමුදා බෝල්ටික් කලාපයට


රුසියානු ආක්‍රමණයක් සිදුවනු ඇතැයි පුරෝකථනය කරමින් නේටෝ හමුදා බෝල්ටික් කලාපයේ සිදුකරන ස්ථානගතවීම් සඳහා සෙබලු 800කින් සමන්විත බල ඇණියක් බ්‍රිතාන්‍ය විසින්ද එම කලාපයට යවා තිබේ.

ඒ අනුව, මෙම ප්‍රථම බ්‍රිතාන්‍ය හමුදා බලඇණිය එස්තෝනියාව වෙත ළඟා වූ බව විදෙස් වාර්තා පවසයි.

සීතල යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය විසින් බෝල්ටික් කලාපයේ ස්ථානගත කරන විශාලතම හමුදා බලඇණිය මෙය බවද බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසා තිබේ.

ඒ අනුව, මෙම බ්‍රිතාන්‍ය හමුදා බල ඇණිය ඩෙන්මාර්ක හා ප්‍රංශ හමුදා සමග කටයුතු කිරීමට නියමිත අතර, ඔවුන් ප්‍රබල යුද ටැංකි හා කාලතුවක්කවලින්ද සන්නද්ධ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මේ ආකාරයෙන්ම ලිතුවේනියාව, ලැටිවියාව, පෝලන්තය යන බෝල්ටික් රටවලද සෙසු නේටෝ හමුදාවන් ස්ථානගත කිරීමට නියමිත බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මෙවැනි හමුදා ස්ථානගත කිරීමක් තමන්ට දැඩි තර්ජනයක් බව රුසියාව පවසයි. මෙය රුසියාව විසින් සිදුකරන ආක්‍රමණයක් නොව, සෙසු ජාතීන් විසින් තමන්ව ආක්‍රමණය කිරීමක් බව රුසියාව පවසයි.



Recommended Articles