බ්‍රිතාන්‍යයේදී හිටපු රුසියානු ඔත්තුකරුවෙකු වූ සෙර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය වන යූලියා වෙත විෂ ශරීරගතකර මරා දැමීමේ තැත පිළිබඳ පරීක්ෂණවල සහායට ආරක්ෂක අංශ සාමාජිකයන් 180ක් සැල්ස්බරි නගරය වෙත යවා තිබේ.
එම නගරයේ ජීවත් වූ මෙම රුසියානු හිටපු රහත් ඔත්තුකරු සහ ඔහුගේ දියණිය හිටිඅඩියේම දැඩි ලෙස රෝගාතුරව රෝහල්ගත කර අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති.
ඒ අනුව, බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මෙම රුසියානුවන් දෙදෙනා මරා දැමීමේ රහස් මෙහෙයුමක් රුසියාව විසින් දියත් කළ බවට ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් පවසා තිබේ.
66 හැවිරිදි වියේ පසුවූ සෙර්ගේයි සහ යූලියා පසුගිය ඉරිදා සන්ධ්‍යාවේ සොයාගනු ලැබුවේ සැල්ස්බරි නගරයේ මැල්ටින්ග්ස් සාප්පු සංකීර්ණය ආසන්න බංකුවක සිහිසුන්ව සිටියදීය.
ඒ අනුව, මෙ වනවිට එම නගරය වෙත යවා ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් අතර රාජකීය මැරීන් භටයන් මෙන්ම හමුදා සාමාජිකයන්ද වෙයි. ඔවුන් රසායනික ප්‍රහාර සහ එම රසායනික ප්‍රහාරයන්ගේ නිර්දූෂණය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබූ අය බවද කියැවෙයි. එමෙන්ම, ජෛව රසායන, විකිරණ සහ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන්ද ඔවුන් විශේෂඥ පුහුණුවක් ලැබූ පිරිසකි.
එහිදී, අදාළ රෝගීන් රෝහල්ගත කළ පිරිස් මෙන්ම, ඔවුන් රෝහලට ගෙනගිය ගිලන් රථය පවා පරීක්ෂණයට බඳුන්වන අතර, ඔවුන් සමග අවසන් වරට ඇසුරු කළ පිරිස් සොයා මෙහෙයුම්ද ඇරඹී තිබේ.
මෙය ප්‍රහාරය අතිශය සාහසික ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් ඇම්බර් රූඩ් පවසයි.
කර්නල් සර්ගේයි ස්ක්‍රිපාල් යනු රුසියාවේ බුද්ධි අංශයේ හිටපු රහස් ඔත්තුකරුවෙකු වුවත්, ඔහු සිය රාජකාරිය අතරතුර බ්‍රිතාන්‍ය වෙතද ඔත්තු සැපයීමේ චෝදනාවට වරදකරු විය.
අනතුරුව දිගටම බ්‍රිතාන්‍යයේ ජීවත්වූ ඔහුගේ බිරිඳ, වැඩිමහල් සහෝදරයා මෙන්ම පුත්‍රයාද පසුගිය කාලයේදී අසාමාන්‍ය ලෙස මරණයට පත්විය.
මේ සියලු සිදුවීම් පිටුපස ක්‍රේම්ලීනය සිටින බවට බ්‍රිතාන්‍ය ඇඟිල්ල දිගු කලත්, රුසියාව අවධාරණය කරන්නේ තමන් එවැනි ක්‍රියාවක් නොකළ බවකි.