රිචඩ් බ්‍රැන්සන් මරණයේ අත්දැකීම අත්විඳි බව කියයි


ලෝක ප්‍රකට වර්ජින් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් පාපැදි අනතුරක් හේතුවෙන් මරණයේ අත්දැකීම මොනවාට අත්විඳි ඇති බව පවසා සිටියි.

බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත් හිදී පාපැදි පැදීමට ගොස් සිටියදී, පල්ලමක තිබූ බම්පර් එකක් නොදැකීමෙන් ඔහු මෙම අනතුරට මුහුණදී ඇති අතර, අනතුරත් සමග පාපැදියෙන් තමා ඉහළින් වීසි වී ගිය බවත් බ්‍රැන්සන් කියයි.

මෙම අවස්ථාවේදී තම ජීවිතය තම දෑස් ඉදිරියේ යළි යළිත් වේගයෙන් ආවර්ජනය වූ බවත්, මේ තමාගේ අවසානය යැයි සිතුණු බවත් බ්‍රැන්සන් පවසයි.

මම ඇත්තටම හිතුවෙ මම මැරෙන්න තමයි යන්නෙ කියලා... ඔහු පවසයි. වාසනාවකට වගේ මගේ උරහිසට හා නිකටට පොඩි හානියක් වුණා විතරයි. ඒ වගේම මම හෙල්මටයක් පැළඳි නිසා මගේ ජීවිතය බේරුණා...

මෙම අනතුරට මුහුණදුන් අවස්ථාවේ බ්‍රැන්සන් රුධිරය සහිතව වැතිර සිටින දසුන් කිහිපයක්ද ඔහු සමාජජාල වෙත ප්‍රසිද්ධ කර තිබුණි.

ව්‍යාපාරික දිවියේ කස්තිරම්කරුවෙකු ලෙස ප්‍රකට බ්‍රැන්සන් තම පෞද්ගලික ජීවිතයේදීද අභියෝගාත්මක දේ කිරීමට උනන්දුවක් දක්වන්නෙකු ලෙස ප්‍රකටය.

1987 වසරේදී උණුසුම් වා බැලූනයක නැගී ඔහු අත්ලාන්තික් සාගරය පසු කළේය. එමෙන්ම, ජල ගොඩ දෙකටම ඔරොත්තු දෙන උභයචාරී වාහනයක නැගී ඉංග්‍රීසි ඕඩය වේගයෙන්ම තරණය කළ වාර්තාවටද ඔහු 2004දී උරුමකම් කීය.

මෙම පාපැදි සවාරියත් මාසයකට වැඩි කාලයක් පුරා වර්ජින් සන්නාමය යටතේ සිදුවන අරමුදල් රැස් කිරීමේ වැඩසටහනකි.



Recommended Articles