රාමදාන් උපවාස වතාවත් කඩකළොත් සිර දඬුවම්ලු


ඉස්ලාම් භක්තිකයන් රාමදාන් උපවාස වතාවත් කඩකළොත් ඔවුන් තෙමසක සිරදඬුවමකට යටත් කිරීමට පාකිස්තාන බලධාරීන් සැරසෙයි.

කෙසේ වෙතත්, මෙම නව නීතිය එරට හිටපු අගමැතිනී බෙනාසීර් භූතේගේ වැඩිමහලු දියණිය වන බක්තාවාර් භූතෝ සර්දාරි විසින් දැඩි දෝෂ දර්ශනයට ලක්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

රාමදාන් වතාවත් කඩකරන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් පැනවිය හැකි ආකාරයෙන් දැනට පවතින නීති සංශෝධනය කිරීම සඳහා පාකිස්තාන සෙනට් සභාවේ ආගමික කටයුතු භාර කමිටුව විසින් අනුමත කර තිබුණේ පසුගිය සතියේදීය.

භූතෝ දියණිය පවසන්නේ මෙවැනි යෝජනා හුදු විහිළුවක් බවත්, කුඩා දරුවන්, වැඩිහිටියන් හෝ රෝගීන් රාමදාන් සමය තුළ වතුර ටිකක් බීමේ වරදට සිරගත යුතු දැයි ඇය ප්‍රශ්න කර තිබේ.

කෙසේ වෙතත්, පාකිස්තානයේ සෙනට් සභා ආගමික කමිටුවේ අනුමැතිය ලද මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට නම් එය පාර්ලිමෙන්තුව තුළ වැඩි ඡන්දයෙන් සම්මත විය යුතු අතර, දැනට පවතින වාතාවරණය අනුව එය අනුමත කෙරෙන ආකාරයක් පෙන්නුම් කරන බවද පාකිස්තාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.



Recommended Articles