රාජකීය තේජසට පයින් ගසා සාමාන්‍ය පෙමක්සෙවූ මාකෝ


ජපානරාජකීය පවුලේ සාමාජිකාවක වන මාකෝ කුමරිය සාමාන්‍ය ජපන් ජාතිකයෙකු සමග විවාහ ගිවිස ගැනීමට සූදානම් වීම හේතුවෙන් ඇයට සිය රාජකීයත්වය අහිමි වන බව විදෙස් වාර්තා පවසයි.

ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ වැඩිමහලු මිණිබිරිය වන 25 හැවිරිදි මාකෝ කුමරිය නීතී ආයතනයක සේවය කරන 25 හැවිරිදිම කෙයි කුමුරෝ නමැති සාමාන්‍ය ජපන් තරුණයා සමග විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටියි. ඔවුන් කාලයක් එකට අධ්‍යාපනය හැදෑරීම නිසා මෙම ආදර කතාව ඇරඹී ඇති බව පැවසෙයි.

කෙසේ වෙතත්, ජපානයේ රාජකීය සම්ප්‍රදායට අනුව රාජකීයයෙකු සාමාන්‍ය ජපන් පුරවැසියෙකු සමග විවාහ ගිවිස ගතහොත් ඔහුට හෝ ඇයට රාජකීයත්වයට සමුදෙමින් රාජකීය පවුලෙන් ඉවත්වීමට සිදුවෙයි.

මෙම සිදුවීම මුලින්ම ජපාන මාධ්‍යවල පමණක් ප්‍රධාන පුවතක් ලෙස පළ කෙරුණත් මේ වනවිට එය ජාත්‍යන්තර මාධ්‍යවලද ප්‍රමුඛ පුවතක් බවට පත්ව තිබේ.

මාකෝ හා කෙයි මුලින්ම එකිනෙකා හමුවී ඇත්තේ වර්ෂ 2012 දී ටෝකියෝ නුවර අධ්‍යාපනය හදාරන සමයේදීය. ඔහු මුලින්ම ප්‍රින්ස් ඔෆ් ද සී සමග එක්වම ජපානයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සේවය කර ඇති බවද ජපාන මාධ්‍ය පවසයි.

රාජ කුමාරිකාවක සමග විවාහ ගිවිස ගැනීමට සූදානම් වීම සම්බන්ධයෙන් කුමුරෝ තරුණයාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පවසා සිටියේ මෙය ඒ ගැන කතා කිරීමට හොඳම වෙලාව නොවන බවයි. අවශ්‍ය මොහොතේ තමන් හඬ අවදි කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.



Recommended Articles