රටපුරා ගණිකා වෘත්තිය මැඬලීමට පොලීසිය සැරසේ


චීනයේ ඩෙන්ගුආන් පළාතේ සිටින ගණිකාවන් අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය මෙහෙයුමක් දියත් කරනු ලැබුවේ පසුගිය සතියේදීය.

ලිංගික සේවයේ යෙදෙන කාන්තාවන්ගේ වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ බැවින් ‘පවුකාරයන්ගේ නගරය’ ලෙස සැලකූ ඩෙන්ගුආන් පළාතේ සිදුකළ එම මෙහෙයුමේදී ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් දෙදෙහසකට අධික පිරිසක් අත්අඩගුවට ගෙන තිබූහ.

මෙම දැවැන්ත මෙහෙයුමෙන් අනතුරුව, රට පුරා ගණිකා වෘත්තිය මැඬලීම පිණිස මෙහෙයුම් දියත් කිරීම සඳහා චීන රජය විසින් පොලීසිය වෙත නියෝග ලබාදී ඇති බව මේ වනවිට චීනයෙන් ලැබෙන අලුත්ම පුවතයි.

ප්‍රථමයෙන් ඩෙන්ගුආන් පළාතේ ගණිකා මෙහෙයුමට හේතු පාඨ වී තිබුනේ, චීන ජාතික රූපවාහිනිය විකාශය කළ වැඩසටහනකි. එම පළාතේ ගණිකා වෘත්තිය දරුණු ලෙස හිස ඔසවා ඇති බව පවසමින් එම වැඩසටහන විකාශය වී තිබුණි.

කෙසේ වෙතත් ඩෙන්ගුආන් පළාතේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට එරෙහිව සිදුකළ මේ දැවැන්ත මෙහෙයුම සම්බන්ධයෙන් මේ වනවිට චීනය තුළ දැඩි කතාබහක් ඇතිවී තිබේ. එම කාන්තාවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලීසියේ හැසිරීම් පිළිබඳ විවේචන එල්ල වෙමින් තිබේ.

මේ තත්ත්වය තුළ ලිංගික සේවයේ යෙදෙන කාන්තාවන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීම ගැන චීන රජය වෙතද ඇඟිල්ල එසවී තිබේ. එමෙන්ම, එම කාන්තාවන් සතුන් මෙන් අත්අඩංගුවට ගන්නා ආකාරය මාධ්‍යයේ හුවාදැක්වීම නිසා මේ වනවිට ඔවුන් වෙත බොහෝ දෙනා අනුකම්පාව පළ කරන බවද චීනයෙන් වාර්තා වෙයි.



Recommended Articles