යුක්රේන හිටපු අගමැතිනිය ජනාධිපති තරගයට සැරසේ


යුක්රේනයේ හිටපු අගමැතිනී යූලියා ටයිමොෂෙන්කෝ මැයි මාසයේ පැවැත්වීමට නියමිත යුක්රේන ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් එරට බලය අල්ලා ගැනීමෙන් පසුව යූලියා වසර තුනකට වැඩි කාලයක් හිර අඩස්සියේ පසුවිය.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී එරට ඇති වූ විරෝධතා රැල්ලෙන් යනුකොවිච් පාලනය අතුගා දැමීමත් සමග පෙබරවාරි මාසයේදී යූලියාට නිදහස හිමිවිය.

යූලියා මීට පෙර අවස්ථා දෙකකදී යුක්රේනයේ අගමැති ධුරය හොබවා ඇති අතර, 2010 වසරේදී එරට ජනාධිපතිවරණය වෙනුවෙන්ද තරග කළාය.

මේ වනවිට යූලියාට මුහුණ දීමට සිදුවී ඇත්තේ රුසියාව සමග මතභේදයකට තුඩුදී ඇති යුක්රේනයේ නායකත්වය වෙනුවෙන් සටන් කිරීමේ අභියෝගාත්මක අවස්ථාවක් බව නොකිවමනාය.

මන්දයත්, යනුකොවිච් පාලනය අතුගා දැමීමට යුක්රේන විරෝධතා රැල්ල සමත් වුවත්, ඒ සමගම රුසියාව විසින් යුක්රේනයට අයත්ව තිබූ ක්‍රිමියාව සිය පාලනයට නතුකර ගනිමින් යුක්රේනයට දැඩි බලපෑමක් එල්ල කිරීම නිසාය.

 



Recommended Articles