යුක්රේනය රුසියාව පරාජයට පත්කරයි


යුක්රේනය හා රුසියාව අතර මේ වනවිට පවතින්නේ අතිශය උණුසුම් තත්ත්වයකි. යුක්රේනයේ ක්‍රිමියා කලාපය වෙත රුසියානු හමුදාව එවීමත්, ක්‍රිමියාව රුසියාවේ කොටසක් බවට පත්කිරීම සඳහා ජනමත විචාරණයකට දින නියමවීමත් සමග මේ අර්බුදය තවදුරටත් උග්‍ර වී තිබේ.

කෙසේ වෙතත් යුක්රේනය හා රුසියාව අතර පවතින මේ අර්බුද මැද රුසියාව ක්‍රීඩාවෙන් පරාජයට පත් කිරීමට යුක්රේනය සමත් වී ඇත.

ඒ රුසියාවේ සෝචි හි ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදීය. එහිදී, යුක්රේනයේ විටලි ලක්යානෙන්කෝ විසින් කිලෝ මීටර් 7.5ක් දුර දෘශ්‍යාබාධිතයන්ගේ ද්වීප්‍රයාම තරගයේ ජයග්‍රහණය හිමිකර ගන්නා ලදී.

අවස්ථා පහකදී මෙම ඉසව්වේ ලෝක ශූරතාව හිමිකර ගෙන සිටි රුසියාවේ නිකොලෙයි පොලුඛින් පරාජයට පත් කරමින් 35 හැවිරිදි විටලි මෙම ජයග්‍රහණයට උරුමකම් කීවේය.

රුසියානු හමුදා ක්‍රිමියාවේ බලය පැතිර වීමට විරෝධයා පාමින් සෝචි පැරාලිම්පික් උලෙළ වර්ජනය කිරීමට යුක්රේන කණ්ඩායම මුලින් තීරණය කළද, පසුව ඔවුහු තරග වැදීමට තීරණය කළහ.

එසේ තීරණය කර පැය 24ක් ගත වීමට පෙර ඔවුන්ට මේ ආකාරයෙන් ක්‍රීඩාවෙන් රුසියාව පරාජය කිරීමට හැකිවී තිබේ.



Recommended Articles