යුක්රේනයේ නව අන්තර්වාර ජනපති යුරෝපා සංගමයට නැමේ


යුක්රේනයේ නව අන්තර්වාර ජනාධිපති ඕල්ක්සන්ඩර් ටර්චනොව් සිය ධුරයේ වැඩභාර ගැනීමෙන් පසුව පවසා සිටියේ, යුක්රේනය යුරෝපා සංගමය සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගැනීමට සූදානම් බවයි.

යුක්රේන පාර්ලිමේන්තුවේ කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙසින් පත් කිරීමට එරට පාර්ලිමේන්තුව තීරණය කිරීමෙන් පසුව, ඕල්ක්සන්ඩර් ටර්චනොව් එරට නව අන්තර්වාර ජනාධිපතිවරයා බවට පත්විය.

මහජන උද්ඝෝෂණ හමුවේ ජනාධිපති වික්ටර් යනුකෝවිච් ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කිරීමෙන් දිනකට පසුව එරට පාර්ලිමේන්තුව එම තීරණයට පැමිණියේය.

ඔහු මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටියේ අඟහරුවාදා වනවිට ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කරන ලෙසය.

"ගරු මහජන නියෝජිතවරුනි, මන්ත්‍රීවරුන්ගේ බහුතර කණ්ඩායමක් අලුතෙන් පිහිටුවා ගෙන මහජන විශ්වාසය දිනූ ආණ්ඩුවක් පිහිටුවා ගන්නා මෙන් සියලුම පාර්ශ්වවල නායකයන්ට සහ මන්ත්‍රීවරුන්ට මා උපදෙස් දෙනවා. එය අපේ ප්‍රමුඛත්වය ලැබෙන කාර්යභාරයයි" ටර්චනොව් පැවසීය.

නව අන්තර්වාර ජනාධිපතිවරයා, පසුගිය සෙනසුරාදා බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු යුක්රේනයේ හිටපු අගමැතිනි යූලියාගේ සමීප ආධාරකරුවෙකු බවද කියැවෙයි.

අසූවකට වැඩි පිරිසක් මරා දමමින් කියෙව් අගනුවර මෑතදී හටගත් ගැටුම්වලට බලයෙන් පහ කෙරුණු ජනාධිපති වික්ටර් යනුකෝවිච් සහ ඔහුගේ සමීප ආධාරකරුවන් වගකිවයුතු බවට ඔහුගේම පක්ෂය මේ අතර චෝදනා කොට තිබේ.

ජනාධිපතිවරයා අගනුවරින් පලා ගොස් සිටින අතර, අගනුවර ඝාතන සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ බලධාරීන් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කෙරිණි.

මේ අතර, හිටපු ජනපති යනුකොවිච්ට සහාය දැක්වූ රුසියාව එරට සිටින තම තානාපතිවරයා නැවත කැඳවා ඇත්තේ උපදෙස් ලබාදීමට යැයි කියාය.



Recommended Articles