රුසියාවේ මෝස්කව් අගනුවරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස 455 දක්වා අඩු කරන ලෙස දැනුම් දෙමින් රුසියාව ඇමෙරිකාවට එකට එක කිරීමක් සිදුකර තිබේ.
ඒ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව අලුතින් සම්බාධක පැනවීමක් පසුගියදා සිදුවීමත් සමගිනි.
මේ ආකාරයෙන් තානාපති කාර්යාල සේවක පිරිස අඩු කළ විට වොෂිංටන් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාල සේවක පිරිස හා ඇමෙරිකානු සේවක පිරිස සම වන බව රුසියාව පවසා තිබේ.
මීට අමතරව, ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් විසින් රුසියාව තුළ සිය නිවාඩු ගතකිරීම සඳහා භාවිත කරන නිවස්නයන් හා ඔවුන්ගේ ගබඩා පද්ධතීන්ද රජයට පවරා ගන්නා බව රුසියාව දන්වා තිබේ.
2014 වසරේදී ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට ඈඳා ගැනීමට රුසියාව කටයුතු කිරීම මෙම නව සම්බාධක පැනවීමේ හේතුවක් ලෙස ඇමෙරිකාව පවසා තිබේ. ක්‍රිමියාව එවකට යුක්රේනයට අයත්ව පැවතුණි.
මෙම සම්බාධක හරහා රුසියානු රාජතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීම එම රාජතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියානා ප්‍රඥප්තිය අල්ලංඝනය කිරීමක් බවද රුසියාව දැඩිව ඇමෙරිකාවට චෝදනා කරයි.