මේරියෑම්ගේ මරණ දඬුවම ඉවත් කළද ගුවන් තොටේදී ඇය යළි අත්අඩංගුවට පත්වේ


ඉස්ලාමීය ලබ්ධිය අත්හැර වෙනත් ආගමක් ඇදහීමේ වරදට මරණ දඬුවමට ලක්ව සිටි සුඩාන කාන්තාවක් ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන් හිරෙන් නිදහස් කළද, අද දිනයේදී ඇය සිය පවුලේ සාමාජිකයන් සමග ඛාර්ටුම් ගුවන් තොටුපළේදී යළි අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේරියෑම් ඉබ්‍රාහිම් ලෙස පසුගිය කාලයේදී විදෙස් මාධ්‍යවල විශේෂයෙන් කතාබහට ලක්වූ මේ කාන්තාව සම්බන්ධ නඩු තීන්දුව විවිධ පාර්ශ්වවල විවේචනයට ලක්වීම හේතුවෙන්ම ඇයට මේ ආකාරයෙන් නිදහස හිමිවීමට බලපෑමක් ඇතිකළ බව කියවුණි.

ඇය සිය ස්වාමියා වූ ඩැනියෙල් වානි හා දරු දෙදෙනා සමග ගුවන් තොටුපළේ සිටියදී 40 කගෙන් පමණ සමන්විත ආරක්ෂකයින් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සුඩානයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු බී.බී.සී.යට පවසා තිබුනේ ඇයව ඉක්මණින් නිදහස් කරනු ඇති බවය. ඇයට නීත්‍යනුකූල සංචාරක බලපත්‍ර නොතිබීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු පවසා ඇත.

ඇයට පනවා තිබූ මරණ දඬුවම අභියාචනාධිකරණයේදී යළි සලකා බැලුණු අවස්ථාවේදී මේ ආකාරයෙන් ඇයට යළිත් වරක් නිදහස හිමිවිය.

ක්‍රිස්තියානි ලබ්ධිය අදහන පුද්ගලයෙකු සමග විවාහ වී සිටි ඇය, ෂරියා නීතිය යටතේ එල්ලා මැරීමට තීරණය කර තිබුනේ ඒ වනවිට ඇය ක්‍රිස්තියානි භක්තිකයෙකු වී එම ලබ්ධිය අත්හැරීමට අකමැති වූ නිසාවෙනි.

මේරියෑම් ඉබ්‍රාහිම් සිරදඬුවම් විඳින අවදියේදීම ඇය දරු ප්‍රසූතියක්ද සිදුකළ අතර, මේ තත්ත්වය තුළ ඇය පිළිබඳ තවත් කතාබහ ඇරඹිණි.

කෙසේ වෙතත් මේ නඩු විභාගය අතරතුර මේ කාන්තාව සුවිශේෂී ධෛර්යයකින් පසුවූ බව ඇගේ නීතීඥයන් බී.බී.සී.යට පවසා තිබුණි.

 



Recommended Articles