ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පදික වේදිකාවක් මතට සිය මෝටර් රථය ධාවනය කරමින් කඩා වැදී පදිකයන්ට මාරාන්තික තුවාල සිදුකළ ඇෆ්ගන් සරණාගතයාට එරෙහිව මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම යටතේ චෝදනා ගොනුවී තිබේ.
ෆ්ලින්ඩර්ස් මාවතේදී පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ මෙම සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව පොලීසිය විශ්වාස කරන්නේ, රථය පැදවූ සයීඩ් නූරි නැමති 32 හැවිරිදි පුද්ගලයා මානසික ව්‍යාධියකින් පෙළෙන අයෙකු ලෙස හඳුනා ගැනීම නිසාය.
කෙසේ වෙතත්, ඔහු ඇෆ්ගන් සරණාගතයෙකු ලෙස මීට කලකට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණි අයෙකු නිසා සිද්ධිය සම්බන්ධයෙන් සියුම් පරීක්ෂණ සිදුව ඇති බවද ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.
මේ අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් 12 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.
එමෙන්ම, සිද්ධියෙන් තුවාල ලැබූ නවදෙනෙකු විදේශීය ජාතිකයන් වන අතර ඔවුන්, දකුණු කොරියාව, අයර්ලන්තය, වෙනිසියුලාව, චීනය, ඉන්දියාව සහ ඉතාලිය යන රටවල අය බව කියැවේ.
මනුෂ්‍ය ඝාතන තැත්කිරීමට එරෙහි චෝදනාවන්ට අමතරව, ජීවිතය අනතුරේ හෙළීය යන චෝදනාවද ඔහුට එරෙහිව ගොනුවනු ඇති බව කියයි.
රථය පැදවූ සයීඩ් නූරි සහ ත්‍රස්ත සංවිධාන අතර සබඳතාවක් නොමැති බව මූලික පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබුණත්, පසුගිය කාලය පුරා ඇමෙරිකාව හා යුරෝපීය රටවල් කිහිපයකදී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මෝටර් රථ යොදා ගනිමින් සිදුකළ ත්‍රස්ත ප්‍රහාර නිසා මෙල්බර්න් නගරයේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.