මෙල්බර්න් නගරයේ ජිහාඩ් ප්‍රහාරයක් අනාවරණය වේ


නත්තල් දිනය උදවන අවස්ථාවේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිදුකිරීමට ගිය ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් අනාවරණය කරගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

එම ආරක්ෂක අංශ සිකුරාදා උදෑසන සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අවකාශය ලැබී ඇති අතර, ඔවුන් අතරින් තිදෙනෙකු පසුව නිදහස් කර තිබේ. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන්ගෙන් තිදෙනෙකු වෙත දැනටමත් ත්‍රස්ත චෝදනා ගොනුකර ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.

චෝදනා ගොනුවූ ත්‍රස්ත සැකකරුවන්, පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි යොදාගනිමින් නත්තල් දිනයේදී මහා ප්‍රහාරයක් සැලසුම් කර තිබී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එහිදී, මෙල්බර්න් නගරයේ ශාන්ත පාවුලු දේවස්ථානය, ෆෙඩරේෂන් චතුරස්‍රය මෙන්ම ප්‍රධාන දුම්රිය ස්ථානය ඉලක්ක කරමින් ප්‍රහාරකයන් සිය සැලසුම දියත් කර තිබුණු බවද පොලීසිය අනාවරණය කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගයන් වයස අවුරුදු 21ක හමාස් අබ්බාස්, වයස අවුරුදු 24ක අහ්මඩ් මොහොමඩ් සහ වයස අවුරුදු 26ක අබ්දුල්ලාහ් චාරානි ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් තිදෙනා ලබන අප්‍රේල් මාසයේදී අධිකරණය හමුවට පැමිණවීමට නියමිත අතර, අත්අඩංගුවට පත් තවත් අයෙකු තවමත් රැඳවුම් භාරයේ ප්‍රශ්න කෙරෙමින් පවතින බවද විදෙස් වාර්තා පවසයි.

මෙම ඉස්ලාමීය ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එරට අගමැති මැල්කම් ටර්න්බුල් පවසා ඇත්තේ මෙය මෑත ඉතිහාසයේදී එරට තුළ වාර්තා වූ අතිශය භයානක ත්‍රස්ත සැලසුමක් බවයි. කෙසේ වෙතත්, මෙම ත්‍රස්තවාදීන්ට ඔස්ට්‍රේලියාව දෙකඩ කිරීමට අවස්ථාව නොදෙන බවද හෙතෙම අවධාරණය කර තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්වූවන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ආභාසය ලබා හුදකලා වෘක්කයන් ලෙස තමන් විසින්ම ජිහාඩ් ම්ලේච්ඡත්වය අනුරූප කරගත්තවුන් බව පරීක්ෂණවලදී හෙළි වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.

එම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ද මීට පෙර සිදුකළ අනතුරු ඇඟවීම් අනුව මේ වනවිට ලොව පුරා මෙවැනි හුදකලා වෘක්කයන් සැරිසරන බව නොරහසකි. ඒ නිසාම සාමයට ලැදි බොහෝ රාජ්‍යයන් තම ආරක්ෂාව තර කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති අතර, ඇස්කන් පියාගෙන සිටීමෙන් සිදුවන්නේ අශ්වයා ගියපසුව ඉස්තාලය වසා දැමීමක් බවද වැඩිදෙනෙකුට පසක් වී ඇත.



Recommended Articles