මුවම්මර් ගඩාෆිගේ පුතෙක් ජනතාවගෙන් සමාව අයදී


ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයෙකු වන මෑතකදී අත්අඩංගුවට පත්වූ සාඩි ගඩාෆි බන්ධනාගාරයේ සිට ලිබියානු රූපවාහිනිය හරහා එරට ජනතාව අමතමින් සමාව අයැද සිටියේය.

ලිබියාවේ ආරක්ෂාවට හා ස්ථාවරත්වයට බාධා කිරීම සම්බන්ධයෙන් මා ලිබියානු ජනතාවගෙන් සමාව අයැද සිටිනවා. යැයි හෙතෙම පවසා සටියේය.

සාඩි ගඩාෆි මේ මස මුලදී නයිගර් රාජ්‍යයේ සිට ලිබියාව වෙත පිටුවහල් කරනු ලැබුණු අතර, ඔහු 2011 වසරේදී ඇරඹි ලිබියානු විප්ලවයත් සමග නයිගර් වෙත පළා ගියේය.

සිය පියාගේ රෙජිමයට එරෙහිව එවකට නැගී ආ විප්ලවය යටපත් කිරීම සඳහා කෘර ලෙස ක්‍රියාකිරීම යන චෝදනා සාඩි වෙනුවෙන් ගොනුවී හමාරය.

මුවම්මර් ගඩාෆිගේ පුතුන් හත් දෙනාගෙන් කෙනෙකු වන 40 හැවිරිදි සාඩි ඉතාලි පාපන්දු කණ්ඩායමකද ක්‍රීඩා කර ඇති අතර, අධි සුඛෝපභෝගී ජිවන රටාවකට හුරුවූවෙකු ලෙස නම් දැරීය.

ට්‍රිපෝලි බන්ධනාගාර බලධාරීන් විසින් මෙම වීඩියෝව නිකුත් කර ඇති අතර, නිල් කමිසයකින් සැරසී හිස මුඩුකළ සාඩි බයාදු ලීලාවෙන් සමාව ඇයදීම සිදුකර තිබේ. කෙසේ වෙතත් මෙවැනි වීඩියෝවක් මාධ්‍යයට නිකුත් කිරීමේ යටිපෙළ පිළිබඳ පැහැදිලි කතාවක් නොතිබුණු බවද ලිබියාවෙන් වාර්තා වෙයි.

 



Recommended Articles