මුම්බායි ගංවතුරින් ප්‍රවාහනය ඇණහිටී - සහන සැලසීමට සමාජ මාධ්‍යය


ඉන්දියාවේ මුම්බායි නුවරට ඇද හැලෙන ධාරාණිපාත මෝසම් වර්ෂාවත් සමග නගරයේ ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ ඇද වැටී ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර නිසා ඇතැම් මාර්ගවල ඉණ මට්ටම දක්වා වතුර පවතින බව කියයි.

මේ තත්ත්වය තුළ හැකි තරම් නිවාසවලටම වී සිටින ලෙස බලධාරීන් විසින් ජනතාවට දන්වා තිබේ.

දකුණු ආසියානු කලාපයට මෙම මෝසම් වැසි සමයේ බලපා ඇති අධික වර්ෂාවෙන් මේ වනවිට මිලියන 16ක ජනතාවක් පීඩා විඳින අතර, මේ වනවිට ජීවිත හානි 500ක් පමණ මෙම කලාපය තුළම සිදුව තිබේ.

එහිදී, ඉන්දියාව හැරුණු විට, බංග්ලාදේශය සහ නේපාලය ගංවතුර තත්ත්වයෙන් දැඩිව පීඩා විඳි රාජ්‍යයන් ලෙස සැලකෙයි.

අඟහරුවාදා දිනය තුළ මුම්බායි නගරයේ දුම්රිය ගමන්වාර මෙන්ම ගුවන් යානා ගොඩබැස්සවීම්ද අවලංගු කර තිබූ අතර, සියලුම පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

මේ අතර, එක් රෝහලක්ද ගංවතුරට කොටුවීම නිසා රෝගීන් හා කාර්ය මණ්ඩලය ඉවත්කිරීමට සිදුව තිබුණි.

මෙවර ගංවතුර තත්ත්වයේදී සමාජ මාධ්‍ය තුළින් සහන සැලසීමේ ක්‍රියාන්විත රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, ගංවතුරින් පීඩාවට පත් අතට තාවකාලික රැඳවුම් ලබාදීම සහ කඩිනම් සහන සැලසීමට ෆේස්බුක් හා ට්විට්ර් ආදිය බහුලව යොදාගැනුණු බව කියැවෙයි.

2005 වසරේදී අවසන් වරට මුම්බායි නගරයට දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, එවර 500ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.



Recommended Articles