මියන්මාරයේ රඛයින් පළාතේ ඇතිවී තිබෙන ගැටුම්කාරී වාතාවරණය රොහින්ග්‍යා සටන් කණ්ඩායම්වල ප්‍රතිඵලයක් බවට වීඩියෝවක් පළ කරමින්, තම රටේ සැබෑ ස්වරූපය ලෝකය හමුවේ සපථ කළ රූප රාජිනියට සිය ඔටුන්න අහිමි කර තිබේ.
ෂ්වේ එයින් සයි නමැති 19 හැවිරිදි මියන්මාර රූප රාජිනිය මිස් ග්‍රෑන්ඩ් මියන්මාර් තරගයේ ජයග්‍රාහිකාව වුවත්, ඇයට මෙම ජයග්‍රාහී කිරුළ අහිමි වීමට ඇය සිය ෆේස්බුක් ගිණුම හරහා රට වෙනුවෙන් පළ කළ අදහස් හේතු වී ඇති බව කියැවේ.
මෙම රූප රාජිනී තරගයේ සංවිධායකයන් පවසා ඇත්තේ, ෂ්වේ එයින් තමන් සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති නිසා මේ ආකාරයෙන් ඇයගේ රූප රාජිනී කිරුළ යළි ලබාගැනීමට කටයුතු කළ බවයි.
කෙසේ වෙතත්, ඇය විසින් රඛයින් පළාතේ සිදුවන රොහින්ග්‍යා සටන් කණ්ඩායම්වල ම්ලේච්ඡත්වය ලොවට හඬගා කීම මේ ආකාරයෙන් ඇයගේ කිරුළ ඉවත් කිරීමට හේතුව බව එම සංවිධායකයන් සෘජුව සඳහන් කර නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
නමුත්, ඇයගේ කිරුළ යළි ලබාගැනීම හා ඇය විසින් පළ කළ වීඩියෝව අතර සබඳතාවක් ඇතැයි ඇය පවසා සිටියි. තම රට වෙනුවෙන් මවා ඇති මහා බොරුව ලෝකය හමුවේ ප්‍රකාශ කිරීමට තම වීඩියෝව හරහා අවස්ථාවක් උදාවූ බව පවසන ෂ්වේ එයින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, තමන් රඛයින් පළාතේ පැතිර ඇති ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සත්‍යය ලොවට හෙළි කළ බවයි.