මියන්මාරයේ, යැන්ගොන් අගනුවර ස්මාරකයක් බඳු වූ සුඛෝපභෝගී හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
එරට වේලාවෙන් අද අලුයම 3.00ට පමණ මෙම ගින්න ඇති වී තිබෙන අතර, ගින්න හේතුවෙන් මෙම හෝටලයට විශාල අලාභානි සිදුව ඇති බව එරටින් ලැබෙන වාර්තා පවසයි.
සාම්ප්රදායික බුරුම සම්ප්රදාය කැටි කරමින් නිර්මාණය කර ඇති මෙම හෝටලයේ බොහෝ කොටස් තේක්ක දැවයෙන් නිමවා තිබීම ගින්න වේගවත් වීමට හේතු වී ඇති අතර, මෙය අගනුවරට පැමිණෙන සංචාරකයන් අතර වඩාත් ප්රකට නවාතැනක් ලෙසද සැලකෙයි.
ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් සිය ගණනක් පැය කිහිපයක් උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී හෝටලයේ රැඳී සිටි 140ක් පමණ වූ ආගන්තුකයන් ආරක්ෂිතව ඉවත්කළ බවද කියැවෙයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූවත්, එය ගෑස් කාන්දුවක් හෝ විදුලි කාන්දුවක් විය හැකි බව විශ්වාස කෙරෙයි.