මිත්‍යාවේ ත්‍රස්ත රාජ්‍ය කඩා වැටුණා - ඉරාක අගමැති


ඉරාකයේ මොසුල් නගරය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගැනීමේ විජයග්‍රහණය ඉරාක අගමැති හයිදර් අල්-අබේදි නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

'මිත්‍යාවේ ත්‍රස්ත රාජ්‍ය කඩා වැටුණා' යැයි පවසමින් ඉරාක අගමැතිවරයා සිය හමුදා සාමාජිකයන් සමග එක්ව ඉරාක ධජය ලෙලවමින් ජයග්‍රහණය සැමරූ බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ දිනය (10දා) වනවිටත් පැරණි නගරයේ ඉස්ලාම් ත්‍රස්තයන් කිහිප දෙනෙකු විසින් ඉතා කුඩා බිම්කඩ කිහිපයක සටනක නිරත වුවත්, මේ වනවිට ඒ සියලු ත්‍රස්තයන් විනාශ කරමින් ඒ සියලු ප්‍රදේශවල බලය සියතට ගැනීමට ඉරාක හමුදා සමත්ව සිටී.

මොසුල් නගරය සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමේ සටනට මාස නවයක කාලයක් ගත වූ අතර, මෙම සටන හේතුවෙන් ඉතා සුන්දර නගරයක් සුන්බුන් ගොඩක් බවට පත්ව තිබේ. එමෙන්ම, මෙහිදී දහස් ගණන් ජීවිත අහිමි වූ අතර, මිලියනයකට ආසන්න පිරිසකට උන්හැටිතැන් අහිමි විය.

මෙම සටනේදී ඉරාක හමුදාවන්ට ගුවනින් සහාය දැක්වූ ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ අණදෙන නිලධාරීන් පවසා සිටියේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජනාකීර්ණ ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන සටන් අතිශය තීව්‍ර ස්වරූපයක් ගෙන ඇති බවයි.

ප්‍රතිත්‍රස්ත සේවා බලඇණි මෙහෙයුම් මැදිරියේ සිට අගමැතිවරයා මොසුල් ජයග්‍රහණයේ නිල නිවේදනය ප්‍රකාශයට පත්කළ අතර, මෙම බලඇණිය පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රථම වරට මොසුල් නගරය වෙත ඇතුළු වූ හමුදා කණ්ඩය ලෙස සැලකෙයි.

"මා මෙහි සිට ප්‍රකාශයට පත්කරන්නේ, IS ත්‍රස්තයන් මොසුල් හි සිට ප්‍රකාශයට පත්කළ මිත්‍යාවේ ත්‍රස්ත රාජ්‍යයේ අවසානය, පරාජය සහ කඩා වැටීමයි." යනුවෙන් අගමැතිවරයා පවසා සිටියේය.



Recommended Articles