මැන්චෙස්ටර් ප්‍රහාරයට ගොදුරු වූවන් බැලීමට අරියානා ඇවිත්


මැන්චෙස්ටර් නගරයේ පැවති අරියානා ග්‍රැන්ඩේ සංගීත ප්‍රසංගයට එල්ල වූ ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින පිරිස් බැලීමට අරියානා පසුගියදා පැමිණියාය.

මෙම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ වැඩි පිරිස තරුණ හා බාල වයස්කරුවන් වූහ. මැන්චෙස්ටර් ළමා රෝහලට ගිය අරියානා එහි වැඩි කාලයක් ගත කරමින් ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවන් සමග දුක බෙදාගත් බව කියයි.

මේ අතර, මෙම ප්‍රහාරයට ගොදුරු වූවන් වෙනුවෙන් ඉරිදා දිනයේ බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිත අරියානාගේ නවතම සංගීත ප්‍රසංගයට පෙර ඇය මේ ආකාරයෙන් රෝහල් වෙත පැමිණීම බොහෝ දෙනෙකුට විමතිය දනවන කරුණක් වූ බවද විදෙස් වාර්තා පවසයි.

ඉස්ලාම් රාජ්‍යයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ සල්මන් අබේදි විසින් ප්‍රසංගය අවසන් වීමත් සමග සිදුකළ ප්‍රහාරයෙන් මියගිය පිරිස 22කි.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සහ තුවාල ලැබූවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වලට පුණ්‍යාධාර බලාපොරොත්තුවෙන් වන් ලව් නමින් ඉරිදා පැවැත්වෙන සංගීත ප්‍රසංගයට අරියානා සමග ජස්ටින් බීබර්, කැටී පෙරේ, කෝල්ඩ්ප්ලේ, ටේක් දැට්, මිලී සයිරස් සහ උෂර් වැන්නවුන් ගී ගැයීමට සූදානමින් සිටින අතර, එය ඔල්ඩ් ට්‍රැෆඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එළි මහන් ප්‍රසංගයක් ලෙස පැවැත්වීමට නියමිතය.



Recommended Articles