(UPDATE) ඉස්ලාම් අන්තවාදියෙකු විසින් මැන්චෙස්ටර් නුවරට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව මේ වනවිට එම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් හත් දෙනෙකු අත්අංගුවට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අරියානා ග්‍රැන්ඩේ සහභාගී වූ පොප් සංගීත ප්‍රසංගයක් අවසානයේදී මැන්චෙස්ටර් අරීනා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රවේශ කලාපයකදී සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 64 දෙනෙකු තුවාල ලැබීය. ඒ අතරින් බරපතල තත්ත්වයේ පස්වන්නන් 20ක් සිටින බවද වාර්තා වෙයි.
මෙම ප්‍රහාරය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරු සල්මන් අබේඩි ලෙස හඳුනාගැනුණු අතර, මැන්චෙස්ටර් වාසියෙකු වූ ඔහුගේ සම්භවය ලිබියාව බව අනාවරණය කෙරිණි. එමෙන්ම, ඔහු ලිබියාවේ සංචාරය කර ඇති බවත්, ඒ සංචාරය තුළ ඔහු සිරියාව වෙත යන්නට ඇති බවටත් බුද්ධි තොරතරු වාර්තා වන බවද විදෙස් වාර්තාවල සඳහන් විය.
මේ අතර, බ්‍රිතාන්‍ය පොලීසිය පවසන්නේ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ ප්‍රහාරක ජාලයක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි. මෙම බෝම්බය අබේඩි විසින් එල්ල කළද, එය නිෂ්පාදනය කර ඇත්තේ තවත් අයෙකු විසින් බව පොලිසිය විශ්වාස කරයි.
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ඇම්බර් රුඩ් පවසා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, "මෙම බෝම්බ ප්‍රහාරකයා මෙය තනිව සැලසුම් කළේද, නැද්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුවෙනවා. කොහොම වුණත් සිදුවුණේ මහා අපරාධයක්. මහා විනාශයක්. මීට පෙර එල්ල වී තිබූ ප්‍රහාර සමග බැලීමේදී මෙය සූක්ෂමව සැලසුම් කර ඇති බව පැහැදිලියි. ඒ අනුව, මෙම ප්‍රහාරක ජාලයේ බෝම්බ කර්මාන්ත ශාලාවක් පිළිබඳවද පොලීසියේ උකුසු ඇස යොමුවී තිබෙනවා" යනුවෙනි.
මැන්චෙස්ට් ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය බදාදා සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, අඟහරුවාදා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්විය. ඊයේ අත්අඩංගුවට පත් ගණන දෙදෙනෙකි. ඒ අනුව, මේ වනවිට පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවේ පසුවන අතර, අඟහරුවාදා අත්අඩංගුවට ගනු ලැබූ 23 හැවිරිදි පළමු සැකකරු බෝම්බ ප්‍රහාරය එල්ල කළ සල්මන් අබේඩිගේ වැඩිමහලු සහෝදරයා බව අනාවරණය වී තිබේ.
මේ අතර ප්‍රහාරකයාගේ පියා වන රාමඩාන් සහ ඔහුගේ බාල පුතා හෙවත් ප්‍රහාරකයාගේ බාල සහෝදරයාද ලිබියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.