ජීවිත 22ක් බිලිගත් මැන්චෙස්ටර් මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකරු සල්මන් අබේඩි නමැති ජිහාඩ් ප්‍රහාරකයෙකු ලෙස අනාවරණය කර තිබේ.
බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් හිදී උපත ලැබූ 22 හැවිරිදි තරුණයෙකු වන මෙම ප්‍රහාරකයා, ලිබියානු සම්භවයක් ඇත්තෙකු බවද හෙළි වී ඇත.
මැන්චෙස්ටර් එරීනා හි සංගීත ප්‍රසංගය අවසානයේදී පුපුරා ගිය යකඩ බෝල යොදා ගනිමින් සකසා තිබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් විසින් එහි වගකීම භාරගනු ලැබීය.
මෙම ප්‍රහාරයෙන් 8 හැවිරිදි දරුවෙකුද ඇතුළුව තරුණ තරුණියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 59 දෙනෙකු රෝහල්ගත කර තිබුණි. ප්‍රහාරයෙන් සමස්තයක් ලෙස තුවාල ලැබූ පිරිස 100කට වැඩි බවද විදෙස් වාර්තා පැවසීය.
තමා බ්‍රිතාන්‍යයේදී උපත ලැබූවද තමාගේ සම්භවය ලිබියානු පවුලක් යන්න ඔහුගේ සිතේ නිතර පැවති බවත්, ඔහු මෑත කාලයක සිට මුහුණ පුරා රැවුල වවා සිටි බවත් ඔහුගේ පාසල් මිතුරෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණි. එමෙන්ම, ඔහුගේ අසල්වාසීන්ට අනුව අබේඩි ආසන්න කාල සීමාවේදී සැකකටයුතු හැසිරීමක්ද පෙන්වූ බව එම වාර්තා පෙන්වා දෙයි.
ගඩාෆි පාලනයෙන් මිදී සරණාගතයන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි ලිබියානු පවුලකට දාව වර්ෂ 1994 දී අබේඩි බ්‍රිතාන්‍යයේ, මැන්චෙස්ටර් හිදී උපත ලබා තිබූ අතර, ඔහුට තවත් සහෝදර සහෝදරියන් තිදෙනෙකු වෙති. කෙසේ වෙතත්, ලිබියාවේ ගඩාෆි පාලනය බිඳ වැටීමෙන් පසුව ඔහුගේ පවුලේ පිරිස් ලිබියාව වෙත ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතී.
ජිහාඩ්වරුන් සැබෑ මැන්චෙස්ටර් යුනයිටඩ් ලෝලීන් බව තමාට මීට වසරකට පෙර හමුවූ අබේඩි පැවසූ බව ඔහුගේ පාසල් සමයේ මිතුරෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබූ අතර, මුස්ලිම් ලබ්ධිකයෙකු වූ අබේඩි පාසල් අවධියේ සිටම යම් ආකල්පමය ගැටලුවකින් පෙළුණෙකු බවද පවසා තිබුණි.
මේ අතර, බ්‍රිතාන්‍යයේ විශේෂ ත්‍රස්ත මර්ධන ඒකකයේ පොලිස් නිලධාරීන් අබේඩිගේ නිවස වෙත කඩා පනිමින් එහි වූ සැකකටයුතු දෑ වැඩිදුර විමර්ශනය සඳහා රැගෙන යන ආකාරය විදෙස් වාර්තාවල දක්නට ලැබුණි.