මක්කම මරාගෙන මැරෙන ප්‍රහාරයක් වළක්වා ගෙනලු


සෞදි අරාබියේ මක්කම මහ පල්ලිය ඉලක්ක කරමින් එල්ල වීමට ගිය මරාගෙන මැරෙන ප්‍රහාරයක් වළැක්වූ බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

සෞදියේ ආරක්ෂක අංශ විසින් මෙම මරාගෙන මැරෙන ත්‍රස්තයා රැඳී සිටි පල්ලියට ආසන්න නිවස වැටලූ අවස්ථාවේදී ඔහු තම මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය පුපුරුවා හරිමින් සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවේදී එම පුද්ගලයාට පොලීසියට භාරවෙන ලෙස ඉල්ලීම් කිහිපයක්ම කර තිබුණත්, ඔහු ආරක්ෂක අංශ වෙත විවෘත වෙඩි තැබීමක්ද සිදුකර පසුව සිය බෝම්බ ඇඳුම් කට්ටලය පුපුරුවාගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම පිපිරීම හේතුවෙන් ඔහු රැඳී සිටි ගොඩනැගිල්ලෙහි කොටසක් කඩා වැටී ඇති අතර, මේ හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

විශේෂයෙන්ම රාමලාන් සමය තුළදී මෙම ප්‍රහාරය සැලසුම් කිරීම තුළින් වැඩි පිරිසක් සිය මරාගෙන මැරෙන ඉලක්කයට හසුකර ගැනීමේ අභිප්‍රායෙන් සිදුකරන්නට ඇති බවද ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

කණ්ඩායම් තුනක් විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති අතර, ඉන් එක් කණ්ඩායමක් ජෙඩා නගරයේද, තවත් කණ්ඩායම් දෙකක් මක්කමද රැඳී සිට ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙම ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීමට සහාය දැක්වූ තවත් පුද්ගලයන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඒ අතර කාන්තාවකද වන බව සෞදි බලධාරීහු පවසති.

මෙම ප්‍රහාරකයාගේ අනන්‍යතාව තවමත් මාධ්‍යයට හෙළි නොකරත්, මෙම ප්‍රහාරය පසුපස විදෙස් කණ්ඩායමක සම්බන්ධතාවක් ඇති බව පමණක් අභ්‍යන්තර කටයුතු ආමත්‍යාංශය පවසා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැක ඇති අතර, මෙවැනි අවස්ථාවක තමන් සෞදිය සමග බව ඔවුන් පවසා තිබේ.

මෑත කාලයේදී සෞදිය මෙවැනි ත්‍රස්ත ප්‍රහාර කිහිපයකටම මුහුණ දුන් අතර, ඒ බොහෝ ප්‍රහාර IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකළ බව සෞදිය පවසා සිටියේය.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින ඇමෙරිකානු ඒකාබද්ධ සන්ධානයේ සාමාජිකයෙකු ලෙස සෞදිය ක්‍රියාකරයි.



Recommended Articles