භූමිබෝල් රජුගේ අභාවය තායි සමාජ ජාල කලඹයි


තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජුට ගෞරව දැක්වීම සඳහා එරට ජනතාව දහස් ගණනින් වීදි කරා පැමිණීම මෙන්ම, එරට අන්තර්ජාල හා සමාජ ජාල භරහාද රජු සිහිපත් කිරීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිති.

විශේෂයෙන්ම මේ ශෝකී මෙහොතේ එරට ජනතාව කළු වර්ණයෙන් සැරසී සිටින විට, තායිලන්තයේ අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සියල්ලම පාහේ සුදු හා කළු වර්ණයට පමණක් සීමා වී ඇත.

බොහෝ දෙනෙකු රජු පිළිබඳ මතකය සිහි කැඳවමින්, සිය අසහාය නායකයා පිළිබඳ සමාජජාල තුළ බොහෝ කතාබහ අරඹා ඇති අතර, රජු වෙනුවෙන් නිර්මාණය කෙරුණු විවිධ නිර්මාණ වේගයෙන් සමාජජාල හරහා හුවමාරු වෙමින් පැවතීමද දැකිය හැකිය.

විශේෂයෙන්ම තායිලන්ත ගූගල් වෙබ් බ්‍රවුසරයේ ගූගල් සන්නාමයද කළු වර්ණය ගනිද්දී, බැංකොක් පෝස්ට්, ද නේෂන් ආදී පුවත් වෙබ් අඩවි කළු සුදු වර්ණවලින් පමණක් සැරසුණි.

එමෙන්ම, සමාජජාල භාවිත කරන බොහෝ දෙනෙකු තම ප්‍රොෆයිල් ඡායාරූපය කළු සුදු කර තිබීමද එරට ජන ජීවිතය කෙරෙහි භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ අභාවය කොතරම් තදින් දැනී ඇතිදැයි යන්න මොනවාට පැහැදිලි කරන්නකි.



Recommended Articles