බොස්නියා ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීමට ජාත්‍යන්තරයත් එයි


බොස්නියාවේ සහ සර්බියාවේ ජල ගැල්මෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ අන්තර්ජාතික මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය හා රුසියාවට අයත් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විපතට පත් වූවන් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි.

සර්බියාවේ අගමැති අලෙක්සැන්ඩර් වුසික් පවතින තත්ත්වය විස්තර කරමින් කියා සිටියේ තවදුරටත් සහන සැලසීම් අවශ්‍ය කරන බවය.

ඒ අතර ආහාර, ඇඳුම් හා පානීය ජලය විශේෂයෙන් උවමනා කර තිබෙන බවද ඔහු අවධාරණය කළේය.

මැසිඩෝනියාවේ හා ස්ලොවේනියාවේ වෙසෙන ජනතාව සහන සේවකයන්ට උදව් කිරීම සඳහා ගංවතුරෙන් හානි වූ ප්‍රදේශවලට පැමිණෙමින් සිටින බවද වාර්තා වෙයි.

මේ වනවිට ගංවතුර තත්ත්වය පහව යමින් තිබුනත්, බලධාරීන් අනතුරු අඟවන්නේ සති අග වනවිට තවදුරටත් වැසි වැටෙනු ඇති බවය.

ගංවතුර හේතුවෙන් මේ වනවිට මිය ගිය පිරිස 40කට අධික බවද වාර්තා වෙයි.

 

 



Recommended Articles