නැසීගිය බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ දේහය මේ වනවිට මහජන ගෞරවය දක්වා තැන්පත් කර ඇති අතර, ඇගේ සමකාලීනයන්, සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයන් මෙන්ම සිනමා ලෝලීන් රැසක් ඇයට ගෞරව කිරීම සඳහා පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රීදේවිගේ සැමියා බොනි කපූර් සහ මස්සිනා අනිල් කපූර් ප්‍රමුඛ ඥාතීන්ට වෙත ඔවුන් සිය ශෝකය ප්‍රකාශ කරන ආකාරය දැකගත හැකි විය.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රීදේවියගේ පවුලේ ඥාතීන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ අද (28දා) උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා මුම්බායි ක්‍රීඩා සමාජයේදී ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රසික රසිකාවියන් ඇතුළු සියලු දෙනාට අවස්ථාව සලසා ඇති බවය.
ඒ අනුව, අද සවස 2.00 පමණ වනවිට ඇගේ දේහය මුම්බායි ක්‍රීඩා සමාජයේ සිට විලේ පාර්ලේ සේවා සමාජ් ආදාහනාගාරය වෙත රැගෙන යනු ඇත.
ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවේ බිහිවූ අග්‍රගණ්‍ය චරිතාංග නිළියක වූ ශ්‍රීදේවියගේ ආදාහන උත්සවය සවස 3.30ට සිදුකිරීමට නියමිතව ඇත.
54 වැනි වියෙහි පසුවූ ශ්‍රීදේවියගේ මරණය ඇය රැඳී සිටි හෝටල් කාමරයේ ටබ් එක වෙතට සිහිසුන්ව ඇද වැටීමෙන් අහඹු දියේ ගිලීමකින් සිදුවූවක් බව හදිසි මරණ පරීක්ෂණයෙන් කියවුණි.
කෙසේ වෙතත්, ඇගේ මරණය ඩුබායි හි විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූවක් බව මුලින් වාර්තා විය.
මේ අතර, මෙම මරණය සම්බන්ධයෙන් යම් යම් සැක මතුවීම හේතුවෙන් සිරුර ඥාතීන්ට භාරදීම තරමක් ප්‍රමාද කෙරුණු අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට භාරදීම පසුගිය 26දා සිදුවිය.
ඒ අනුව, සියලු නීතිමය කටයුතු අවසන්ව දේහය ඥාතීන්ට භාරදීම ඊයේ (27දා) සවස සිදුවූ අතර, සිරුර එම්බාම් කිරීමෙන් අනතුරුව එය ගුවන් මගින් මුම්බායි වෙත රැගෙන ඒම නියමිත පරිදි සිදුවිය.