බොලිවුඩයේ කිරුළු දැරූ ශෂී කපූර් අභාවප්‍රාප්ත වේ


බොලිවුඩ් සිනමාවේ කලකට ඉහත ඉතා ජනප්‍රිය නළුවෙකු මෙන්ම, නිෂ්පාදකවරයෙකු වූ ශෂී කපූරු සිය දිවි ගමනට සමුදී තිබේ.

ඉන්දීය හින්ද සිනමාවේ දශක කිහිපයක් පුරා සිය අණසක පැතිර වූ කපූර් පවුලේ සාමාජිකයෙකු වන ඔහු මිය යන විට 79 වැනි වියෙහි පසුවූ බව විදෙස් වාර්තා පවසයි.

බොලිවුඩ් තිරයේ සිය දක්ෂතා නිසාම අවස්ථා ගණනාවකදීම සම්මානයට පාත්‍රා වී ඇති ශෂී කපූර් 2011 වසරේදී ඉන්දියාවේ ඉහළ සම්මානයක් වන පද්ම භූෂණ සම්මානයෙන්ද පපිදුම් ලබා තිබේ.

ඉන් නොනැවතී, ඉන්දීය සිනමාට සිදුකළ මෙහෙය වෙනුවෙන් 2015 වසරේදී ඩාඩා සහේබ් ෆාල්කේ සම්මානයෙන්ද පිදුම් ලැබූ අතර, එය ඉන්දීය සිනමා ක්ෂේත්‍රයෙහි පිදෙන ඉහළම සම්මානයක් ලෙස සැලකෙයි.

බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පිනියක වූ ජෙනිෆර් සමග විවාහ වී සිටි ඔහු වර්ෂ 1978 දී ඇය සමග එක්ව මුම්බායි ප්‍රවිති රඟහල බිහි කර තිබුණි.

දීවාර් සහ කබී කබී වැනි අතීතයේදී වඩාත් ජනාදරයට පාත්‍ර වූ සිනමා නිර්මාණයන්ට දායක වී තිබූ ඔහු කෙටි කලක් අසනීප තත්ත්වයෙන්ද සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මුබ්බායි නුවර කෝකිලාබෙන් ධයිරුභායි අම්භානි රෝහලේදී ඔහු සිය අවසන් හුසම පොද වා තලයට මුසු කර තිබේ.

ශෂී කපූර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05දා) උදය වරුවේ පැවැත්වෙන බව රන්දීර් කපූර් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

ශෂී කපූර්ගේ වියෝව පිළිබඳව ට්විටර් පිණිවුඩයක් නිකුත් කරන ඉන්දීය අගමැතිවරයා සිය ශෝකය පළ කර තිබේ.

1_Shasfi 02 03 04 05 06



Recommended Articles