බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ සිය 11 හැවිරිදි පුතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට රැගෙන පැමිණීම ගැන බොහෝ දෙනා විමතියෙන් බලන්නට විය.
එමෙන්ම, ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා විදෙස් රාජ්‍ය නායකයන් පිළිගනිමින්, සිය ආර්යාවද කැටුව ගනු ලබන නිල ඡායාරූපයේද බෙලරූස් නායකයාගේ කොල්යා පුතු දැකීමෙන් ඒ විමතිය දෙගුණ තෙගුණ විය.
බී.බී.සී. පුවත් සේවය පවසන්නේ ජනාධිපතිවරයාගේ ළාබාල පුත්‍රයා සැන්විඩ්ච් රසබැලීමේ අරමුණින් ලෝක නායකයන් හා ජාත්‍යන්තර සමුළු හමුවට කැඳවාගෙන නොඑන බවයි.
සිය පියා ලෝක නායකයන් හමුවේ මහා මණ්ඩලයේදී කතාව පවත්වන විට මේ පුංචි පුත්‍රයාද රාජ්‍ය නායකයන් සමග අසුන්ගෙන සිය පියාගේ දේශනයට සවන් දෙන්නට විය.
බෙලරූස් රාජ්‍ය නායකයා මේ ආකාරයෙන් සිය කුඩා පුතු මෙවැනි විශේෂිත රාජ්‍ය උත්සවවලට කැටුව පැමිණි ප්‍රථම අවස්ථාව මෙය නොවන බවද බොහෝ දෙනා නොදන්නා කරුණකි.
පියාගේ නිල සංචාර රැසක කොල්යා දැකගත හැකි අතර, පසුගියදා චීනයේදී සමරනු ලැබූ දෙවැනි ලෝක යුද්ධයේ සැමරුමටද ඔහු පියා සමග සහභාගි විය.
රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් ප්‍රමුඛ රාජ්‍ය නායකයන් සමග සිය පියා ආසන්නයේ සිටගෙන චීන හමුදා ආචාර පෙළපාළි නරඹන ඔහු, චීන ජනපති ෂි ජින්පින් හා ඊට සහභාගි වූ රාජ්‍ය නායකයන් සමග නිල ඡායාරූපයටද පෙනී සිටි බව කියයි.
මේ සියල්ලෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ බෙලරූස් නායක ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ, සිය ළාබාල පුතු දැන් සිටම ඔහුගේ අනුප්‍රාප්තික ධුරයට සූදානම් කිරීමක් බව බී.බී.සී.ය පවසයි.