බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ඉන්දියාවට


බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට (09දා) උදෑසන වනවිට ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්, සහ ඔඩිෂා වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇති බවත්, මේ මගින් නැගෙනහිර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශ වෙත දැඩි වර්ෂාපතනයක් ඇති කරනු ඇති බව කාලගුණ අංශ පවසයි.

කෙසේ වෙතත්, මෙම ගැඹුරු පීඩන අවපාතය ඉරිදා දිනය වනවිට බංග්ලාදේශය වෙත ඇතුළු වනවිට එහි ප්‍රබලත්වය ක්‍රමයෙන් හීනවෙමින් පවතිනු ඇති බවද සඳහන් වෙයි. ඒ වනවිට බටහිර බෙංගාලය සහ බංග්ලාදේශ වෙරළ කලාපයේද දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශ පවසයි.

කෙසේ වෙතත්, අද සවස වනවිට ත්‍රිකුණාමලයේ සිට කි.මී.1,100ක් පමණ ඊශාන දෙසින් ස්ථානගතව පැවති මෙම ගැඹුරු පීඩන අවපාතය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු දිශාවට බරව, වයඹ දිශාවට ගමන් කරමින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මෙමගින් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවත්, දිවයින පුරා වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

1_India



Recommended Articles