බීබර්ට චීනයේ දොර වැසෙයි චීනය තුළ ප්‍රසංගයන් තහනම්


නව යොවුන් වියේ පොප් ගායකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත්ව, පසුව ඒ ජනප්‍රියත්වය නිසාම ප්‍රකට කළ මුග්ධ බව හේතුවෙන් කැනේඩියානු ජාතික පොප් ගායක ජස්ටින් බීබර්ට චීනය තුළ සංගීත ප්‍රසංග පැවැත්වීම තහනම් කර තිබේ.

චීනයේ බීජිං අගනුවර පිහිටි සංස්කෘතික කාර්යාංශය පෙන්වා දෙන්නේ ඔහුගේ නරක හැසිරීම හේතුවෙන් ඔහුට තවදුරටත් චීනය තුළ ප්‍රසංගයක් පැවැත්වීමට අවකාශය ලබාදීමට නොහැකි බවයි.

ඔවුන්ගේ නිවේදනයේ දැක්වෙන්නේ, ජස්ටින් බීබර් දක්ෂ ගායකයෙකු වුවත්, මතභේදයට තුඩු දෙමින් ඔහු වරින් වර ප්‍රකට කළ මුග්ද බව හේතුවෙන් මෙම තහනම ඔහු ඉලක්ක කරමින් පැනවීමට තීරණය කළ බවයි.

ඒ අනුව, මේ කරුණු කාරණා වටහා ගනිමින් තමාගේ වචන මෙන්ම හැසිරීමද පාලනය කරගැනීමට යම් දවසක ඔහු සමත් වුණොත්, ඔහු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන ගායකයෙකු බවට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද එරට සංස්කෘතික කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

ජස්ටින් බීබර් මේ ආකාරයෙන් විවිධ දෝෂ දර්ශනයට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, විවිධ ගැටුම්වලට මැදිහත් වීම, බීමතින් රිය පැදවීම මෙන්ම, කලහකාරී ලෙස හැසිරීම ආදී වූ විවිධ අමනෝඥ ක්‍රියා හේතුවෙන් ඔහු පොලිස් කූඩුවේ සිටි වාර ගණනද අනන්තය.

තමන්ගේ, පර්පස් වර්ල්ඩ් ටුවර් සංගීත ප්‍රසංග චාරිකාව සමග ආසියාවට පැමිණීමට බීබර් සූදානම් වන අවස්ථාවේදී චීනය මෙවැනි තහනමක් පැනවීම ඔහු ආසියාව තුළ ප්‍රබලම රාජ්‍ය තුළ ප්‍රතික්ෂේප වීමක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ලබන සැපැත්ම්බරයේ පැවැත්වෙන මෙම සංචාරයේදී බීබර් ජපානය, හොංකොං, පිලිපීනය, සිගප්පූරුව සහ ඉන්දුනීසියාව යන රටවල සංගීත ප්‍රසංග පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටියි.



Recommended Articles