ඉන්දියාවේ බැංගලෝර් හි නව අවුරුදු සැමරුම් සමග තරුණියන් රැසක් ලිංගික අඩම්තේට්ටම්වලට ලක්වීමට හේතුව ඔවුන්ගේ සංකර ඇඳුම් ආයිත්තම් බව පැවසූ අමාත්‍යවරයෙකු නිසා එරට තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.
සෙනසුරාදා රාත්‍රියේ අවුරුදු උදාව සමරන අවස්ථාවේදී තරුණියන් මුහුණදුන් විවිධ අඩම්තේට්ටම් දැක්වෙන වාර්තා සමාජජාල හරහා වාර්තා වූ අතර, බැංගලෝර් පුවත්පත් එසේ අනවශ්‍ය ලෙස ඇඟපසඟ අතගෑමට ලක්වූ තරුණියන්ගේ ඡායාරූප සහිතව මෙම සිදුවීම් වාර්තා කර තිබුණි. එහිදී, තරුණයන් විශාල පිරිස් වශයෙන් එක්ව මෙවැනි අඩම්තේට්ටම් සිදුකර ඇති බවද එම පුවත්පත් අනාවරණය කර තිබුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත නිල වශයෙන් පැමිණිලි කිසිවක් ලැබූ නොතිබුණත්, මෙම සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බව බැංගලෝර් පොලීසිය කියයි.
එහිදී, කර්නාටක ප්‍රාන්ත අමාත්‍යවරයෙකු විසින් මෙම සිදුවීම තරුණියන්ගේම වරදින් සිදුවූවක් බව කියා තිබුණි. අමාත්‍යවරාය වැඩිදුරටත් පවසා තිබුණේ, මෙම තරුණියන් මනසින් මෙන්ම ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම්වලින්ද බටහිර පන්නය කොපි කිරීමට යාමෙන් මෙවැනි හිංසනයකට නතුව ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි දේ සිදුවිය හැකි බවද අමාත්‍යවරයා පවසා තිබුණි.
කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමග ඔහුට එරෙහිව දැඩි විරෝධයක් මතුව ආ අතර, අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉන්දීය කාන්තාවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාවගෙන සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටද එම විරෝධතා වර්ධනය වී තිබේ.