බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වේ


බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉලක්ක කරමින් පසුගිය සිකුරාදා (23දා) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් පසුව එරට සයිබර් ප්‍රහාර ආරක්ෂණ ජාතික මධ්‍යස්ථානය සමග එක්ව ඊට අවශ්‍ය ප්‍රතිකර්ම ගත් බව පාර්ලිමේන්තු ප්‍රකාශිකාවක් මාධ්‍යයට පවසා ඇත.

කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටතදී සිය ඊමේල් ගිණුම් පරීක්ෂාව අපහසු විය හැකි බව මන්ත්‍රීවරුන් දන්වා තිබූ අතර, එය ප්‍රහාරය සඳහා ගත් ආරක්ෂක පියවරක් බවද දන්වා තිබුණි.

පාර්ලිමේන්තුවේ පරිගණකවලට අනවසරයෙන් ඇතුළු වීමේ උත්සාහයක් සිදුකර ඇති බවට තොරතුරු සැලවීමත් සමග සියලු ආරක්ෂක පියවර ගත් බවත්, මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බවත් පාර්ලිමේන්තු ප්‍රකාශිකාව පවසා තිබුණි.

මීට පෙර වෝනර්ක්‍රයි සයිබර් ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ පරිගණක පද්ධතියට බලපෑමක් එල්ල වූ අතර, මෙය එරට උත්තරීතර මණ්ඩලය වෙත එල්ල වූ තවත් සයිබර් ප්‍රහාරයකි.



Recommended Articles