බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනය ඡන්ද දායකයන් අතට පත්කිරීම ඊයේ (16දා) සිදුකෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එළඹෙන ජූනි 08 වැනිදා ඇරඹෙන එරට මහ මැතිවරණය ඉලක්ක කරමින්, පක්ෂයේ ප්‍රතිපත්ති සහිතව ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් අතින් මෙම මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වී තිබුණි.
'සුළුතරයේ නොව බහුතරයේ අභිලාෂයන් ඉටුකරන අනාගත ලේබර් ආණ්ඩුවක්' යන ශීර්ෂය යටතේ මෙම මැතිවරණ ප්‍රකාශනය එළිදක්වමින්, පරිවර්තනශීලී සහ වගකිව යුතු සැලසුම් මගින් කන්සර්වේටිව් පක්ෂයේ වසර 07ක පාලනයේ වෙනසක් සිදුකරන බව ලේබර් පක්ෂ නායකයා මෙහිදී කියා සිටියේය.
එම මැතිවරණ ප්‍රකාශනයේ මූලික පොරොන්දුවක් ලෙස දැනට සරසවි සිසුන්ගෙන් අය කරනු ලබන පන්ති ගාස්තු අහෝසි කිරීමත්, මහජන සෞඛ්‍ය වෙනුවෙන් වැය කරන මුදල් වැඩි කිරීමත් පවතී. එමෙන්ම, එංගලන්ත සහ වේල්සයේ ජල සැපයුම සහ ඇතැම් මහජන සේවා යළි ජනසතු කිරීමද එම පොරොන්දු අතර පවතී.
මීට අමතරව, ඉහළ ආදායම්ලාභීන්ගෙන් වැඩිපුර බදු අය කිරීම මගින් ලබන මුදල් මහජන සේවා වෙනුවෙන් යෙදවීම සිය සැලසුම වන බවද ඔහු අවධාරණය කළේය.