බලයෙන් ඔද්දල්වූ ගඩාෆි පුත්‍රයාගේ වත්මන් ඉරණම


බලය ඇතිදා අතිශය සුඛෝපභෝගී දිවියක් ගත කළ ගාඩාෆි පුත් සාඩි, මේ වනවිට ලිබියාවේ ට්‍රිපෝලි නගරයේ අත්අඩංගුවේ පසුවන්නේ සිය අතීත රාජතේජස ගිලිහී ගිය උන්මත්තකයෙකු ලෙසිනි.

හිටපු ලිබියානු නායක කර්නල් මුහම්මර් ගඩාෆිගේ පුත්‍රයෙකු වන සාඩි ගඩාෆි නයිජර් රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු මෙසේ ලිබියානු අත්අඩංගුවට පත්ව සිටී.

නයිජර් බලධාරීන් සාඩි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු කොණ්ඩය හා රැවුල වවාගෙන සිටි බව කියැවෙයි. ඒ අවස්ථාවේදී ඔහුගේ මුල් ස්වරූපය ඡායාරූපයක් ගත් ඔවුන් පසුව, ඔහුගේ හිස රැවුල් බා නැවත ඡායාරූපයක් ගෙන ඒවා මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

සිය පියාගේ පාලන සමය තුළදී වඩාත් සුඛෝපබෝගී ජිවිතයක් ගත කළ සාඩි, වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු කලක් ඉතාලි පාපන්දු කණ්ඩායමක සාමාජිකයෙකු ලෙසද ක්‍රීඩා කළ අතර, තහනම් උත්තේජක භාවිතයක් නිසා පසුව ඔහුට ඉන් ඉවත්වීමට සිදුවිය.

කෙසේ වෙතත්, ඔහු ලිබියානු පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා ලෙසත්, ලිබියානු හමුදාවේ විශේෂ බලකා ප්‍රධානියා ලෙත් කටයුතු කළේය.

කරන පව් සැමදා වලංගු නොවන ලෝක ධර්තමාතයට මුහුණ දෙමින් 2011 වසරේ පැවති ලිබියානු කරැල්ලේදී සිය පියා ඝාතනය වීමත් සමගම සාඩි ගඩාෆිද නයිජර් රාජ්‍යයට පැන ගියේය.

නමුදු, සිය පියාගේ පාලනය යටතේ උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සහ තවත් අපරාධ රැසකට වැරදිකරු වී සිටින සාඩිට එරෙහිවද මේ වනවිට චෝදනා ගොනුවෙමින් තිබේ. ලිබියානු අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ සාඩි අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනයට මුහුණ දෙනු ඇති බවය.

මීට පෙර සාඩි පිටුවහල් කරන ලෙස නයිජර් රාජ්‍යයෙන් ලිබියාව ඉල්ලා සිටියද ඔවුන් මුලින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මේ අතර, 2012 වසරේදී ඉන්ටර්පෝල් වෙතින් රතු නිවේනයක් නිකුත් කරමින් කියා සිටියේ, සාඩි අත්අඩංගුවට ගන්නා ලෙසය. මේ ජාත්‍යන්තර බලපෑම් සමග සාඩි අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට ඔවුන් කටයුතු කළේය.

සහරා කාන්තාරය හරහා නයිගර් රාජ්‍යයට පැන යාමෙන් පසුව එහි අගනගරය ලෙස සැලකෙන නියාමෙයි හි සංචාරක නිකේතනයක ඔහු ලැගුම්ගෙන සිට ඇති බව කියැවෙයි.

 

 



Recommended Articles