බංග්ලාදේශ නම ලොව රැන්ඳීමට සත් කඳු තරණය කරන රුවැත්තිය


ඇය සැලකෙන්නේ එවරස්ට් කඳු මුදුනට නැගි ලාබාලතම බංග්ලාදේශ ජාතිකයා ලෙසිනි. මේ වනවිට 31 වැනි වියේ පසුවන වස්ෆියා නස්රීන් නම් වූ ඇය ලොව මහද්වීප හතේ පවතින උසම කඳු හත (7) තරණය කිරීමේ අභියෝගය භාරගෙන ඇති බව බංග්ලාදේශයෙන් වාර්තා වෙයි.

ඇය මුලින්ම තරණය කළ කන්ද ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කන්දයි. ඒ වර්ෂ 2011දීය. ඉන්පසු එම වසරේදීම අන්දීස් හි අකොන්කගුවා කන්ද තරණය කළ ඇය, 2012 වසරේදී එවරස්ට් කන්ද තරණය කළාය. ඉන් නොනැවතුණු නස්රීන් 2013 වසරේදී ඇන්ටාර්ක්ටිකාවේ වින්සන් මැසිෆ් කන්ද තරණය කළාය.

නස්රීන් සිය කඳු තරණ චාරිකාවේ තවත් අභියෝගයක් ලෙස රුසියාවේ කොකේසස් කඳුකරයේ එල්බ්‍රස් කන්ද තරණය කළේද 2013 වසරේදීමය. මේ සියලු අභියෝග තම මව්බිම වෙනුවෙන් තැබූ පියවරක් බව පවසන නස්රීන් දැන් සුදානම් වන්නේ උතුරු ඇමරිකාවේ දිනාලි කන්ද සහ ඉන්දුනීසියාවේ කර්ස්ටන්ස් පිරමීඩය තරණය කිරීමටය.

"දේශපාලනය හා විවිධ දූෂණයන් සම්බන්ධ වැරදි අපේ රට තුළ බොහෝ පවතින බව මා පිළිගන්නවා. නමුත්, අපේ රට ගැන තියෙන්නෙ ඒ වැරදි විතරක් නොවෙයි. අපි ගැන කියන්න හොඳ දේවල් කිසිවක් නැද්ද කියන ප්‍රශ්නය නිතරම මගෙ හිතේ තිබුණා. මුස්ලිම් රටක කාන්තාවක් ලෙස පසුගිය දශක හතරක කාලය තුළ අපි අත්කරගත් බලය හා ජයග්‍රහණ හුවා දැක්විය නොහැක්කේ ඇයිද කියන කාරණය මේ අභියෝගය සඳහා මා දිරිමත් කළා" යැයි නස්රීන් පවසයි.

තම රටට ආසන්නතම එවරස්ට් කන්ද තරණය කිරීමට ඇය තෝරා ගෙන තිබුණේ පහසු මාර්ගයක් නොවෙයි. ඒ එවරස්ට් තරණය කළ ප්‍රථම මිනිසා වූ බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි විසින්ද තෝරා ගත් නේපාලය දෙසින් ඇති වඩාත් දුෂ්කරම මාර්ගයයි. එසේම තමන් තරණය කිරීමට තෝරාගත් කඳු සලකා බැලීමේදී එවරස්ට් වඩාත් දුෂ්කරම කන්ද බවද ඇය පෙන්වා දෙයි.

මේ දුෂ්කර ගමනේදී තමන් මානසිකව දුර්වල වන සැම මොහොතකම බංග්ලාදේශ ජනතාව ගැන මෙනෙහි කිරීමෙන් යළි පන්නරය ලද බව ඇය වැඩිදුරටත් පවසයි.



Recommended Articles