පොලිස් නිලධාරියෙක් මැරුවා යැයි කියා 528කට මරණ දඬුවම්


ඊජිප්තුවේ බලයෙන් පහ කෙරුණු ජනපති මොහොමඩ් මොර්සිගේ ආධාරකරුවන් 528 දෙනෙකුට එරෙහිව එරට අධිකරණයක් විසින් මරණ දණ්ඩනය නියම කර ඇති බව වාර්තා වෙයි.

පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම, පුද්ගලයන්ට පහරදීම හා දේපළවලට අලාභානි කිරීම යන චෝදනා යටතේ මෙසේ ඔවුන් වෙත මරණය දණ්ඩනය නියම කර ඇත.

මේ ආකාරයෙන් චෝදනා ලැබූ මොර්සි ආධාරකරුවන් 1,200ක් පමණ සිටි අතර, මේ පිරිසෙන් 528 දෙනෙකු මෙසේ මරණ දණ්ඩනයට නියම වී තිබේ. මේ අතර, මුස්ලිම් සහෝදරත්වයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුද සිටින බව වාර්තා වෙයි.

හමුදා ක්‍රියාමාර්ගයක් හරහා පසුගිය ජූලි මාසයේදී මොර්සි බලයෙන් පහ කිරීමෙන් පසු ඊජිප්තු බලධාරීන් විසින් දරුණු ලෙස ඉස්ලාමීය සටන්කාමීන් ඉවත් කරමින් සිටින අතර, මේ වනවිටත් එවැනි සිය ගණනක් මරා දමා, තවත් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත්, මෙසේ මරණ දණ්ඩනයට නියම වූවන් අපෑලක් ඉදිරිපත් කිරීමට සූදානම් බවද ඊජිප්තුවෙන් වාර්තා වෙයි.

 



Recommended Articles