පෙට්යා සයිබර් ප්‍රහාරය NSA දිගුවක් - ස්නොව්ඩන්


ලොව පුරා පරිගණක පද්ධති රැසකට බලපෑම් කරමින් ඊයේ (27දා) ක්‍රියාත්මක වූ පෙට්යා රැන්සම්වෙයාර් පරිගණක වෛරසය ඇමෙරිකානු ආරක්ෂක ඒජන්සිය විසින් ප්‍රයෝජනයට ගත් එටර්නල්බ්ලූ හැකර් ක්‍රමවේද හා සැසඳෙන්නේ යැයි එඩ්වඩ් ස්නොව්ඩන් පවසයි.

ඇමෙරිකාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වූ ස්නොව්ඩන් එරට බුද්ධ තොරතුරු රැසක් ලොවට අනාවරණය කිරීමෙන් පසුව මේ වනවිට රුසියාවේ ආරක්ෂාව යටතේ එරට රැඳී සිටින්නෙකි.

මේ ආකාරයේ ඩිජිටල් ආයුද ඇමෙරිකානු ආරක්ෂක ඒජන්සිය විසින් ප්‍රයෝජනයට ගන්නා බවත්, එය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ දුර්වලතා අතරින් රිංගා යෑමට සමත් රැන්සම්වෙයාර් එකක් බවත්, පසුගිය වසර පහක පමණ කාලය පුරා එය නිරාවරණව පවතින බවත් ස්නොව්ඩන් පවසයි.

යුක්රේනය ඇතුළු රාජ්‍යයන් රැසක රෝහල්, ප්‍රධාන වෙළෙඳ සැල්, බැංකු ආයතන රැසක් වෙත මෙම රැන්සම්වෙයාර් වෛරසය බලපා ඇති බව සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ දැන්වීම් ප්‍රචාරක ආයතනයක් වන ඩබ්.පී.පී. ආයතනය පවසන්නේ ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ පද්ධතියට දැඩි බලපෑමක් සිදුව ඇති බවයි.

යුක්රේන රජයේ විදුලිබල සමාගමට සහ කිවි නගරයේ ප්‍රධාන ගුවන් තොටුපොළ වෙතද සයිබර් ප්‍රහාරය බලපා ඇති බව සඳහන් වෙයි.

මේ අතර, චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ස්වයංක්‍රීය සෙන්සර් පද්ධති ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එහි විකිරණශීලීත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවෙමින් එහි ක්‍රියාකාරීත්වය ක්‍රියාකරුවන් යොදවා සීරුමාරු කරමින් සිටින බවද සඳහන් වෙයි.



Recommended Articles