පිලිපීන හමුදා සහ ඉස්ලාම් ත්‍රස්තයන් අතර දරුණු ගැටුම්


දකුණුදිග පිලිපීනයේ ක්‍රියාත්මක අබු සයේෆ් ඉස්ලාමීය ත්‍රස්තයන් සමග ඇවිලුණු දරුණු සටන් හේතුවෙන් පිලිපීන හමුදා සාමාජිකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.

පසුගිය මැයි මාසයේදී වත්මන් ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්ටේ බලයට පත්වීමෙන් පසුව එරට හමුදා ඉස්ලාමීය අන්තවාදීන් සමග දරුණු සටනකට එළැඹි ප්‍රථම අවස්ථාව මෙයයි.

දකුණුදිග පිලිපීනයේ ක්‍රියාත්මක අබු සයේෆ් ත්‍රස්ත සංවිධානය එතරම් විශාල සංවිධානයක් නොවූවත්, ඔවුන් ලෝකයේ වඩාත් දරුණුතම ජිහාඩ් අන්තවාදීන් පිරිසක් ලෙස සැලකෙයි.

අසිපත දරන්නා යන නාමයෙන් හැඳින්වෙන ඔවුන් මනුෂ්‍ය පැහැරගැනීම්, සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයන් ඝාතනය කිරීම් වැනි අපරාධවලට නමගිය සංවිධානයකි.

කෙසේ වෙතත්, බරන්ගේ මාලිගායා නගරයේ ඇති වූ දරුණු සටන්වලින් අබු සයේෆ් ත්‍රස්තයන් 70කට අධික පිරිසක් මරා දැමීමට තම හමුදාවන්ට හැකි වූ බව පිලිපීන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

අසල්වාසී ගම්මානයක පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඔහු වෙනුවෙන් කප්පම් නොගෙවූ නිසා එම පුද්ගලයා ගෙල සිඳ ඝාතනය කිරීමට අබු සයේෆ් ත්‍රස්තයන් ක්‍රියාකිරීමත් සමග මෙම හමුදා මෙහෙයුම ආරම්භ වී තිබුණි.



Recommended Articles