පිලිපීන සුළි කුණාටුව නිසා නත්තල අහිමි වූවන් රැසක්


පිලිපීනයට බලපෑ නොක්-ටෙන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකුවත් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

විශේෂයෙන්ම අධික ජනගහනයක් වෙසෙන මැනිලා අගනුවර වෙතද සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබූ අතර, පැයට කිලෝමීටර් 120 ඉක්මවන සුළං නගරය හරහා හමා ගිය බව කාලගුණ අංශ පවසයි.

මේ හේතුවෙන් ගස් කඩා වැටීම් රැසක් නිසා විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර, නිවාස 380කට පමණ විදුලිය නොමැති බවද කියයි.

කෙසේ වෙතත්, සුළ කුණාටුවත් සමග ඇද හැළෙද අධික වර්ෂාපතනය නිසා ඉදිරි පැය 36ක කාලය තුළ හදිසි ගංවතුර තත්ත්ව සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමක්ද බලධාරීන් විසින් සිදුකර තිබේ.

මේ අතර, ආපදා සහන කණ්ඩායම් යොදා මේ වනවිටත් ගස් කඩා වැටීම නිසා වැසී ඇති මංමාවත් හෙලි පෙහෙළි කිරීම අරඹා ඇති අතර, විදුලිබලය යථා තත්ත්වයට පත්කිරීමටද දැඩි පරිශ්‍රමයක් දරන බවද එරටින් වාර්තා වෙයි.

මෙම සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන්ගමන් වාර රැසක් අවලංගු කෙරුණු අතර, 12,000ක පමණ ජනතාවට ගුවන් තොටුපොළවල නත්තල ගත කිරීමට සිදුවිය.



Recommended Articles