පියයුරු පිළිකා කල්තියා හඳුනාගත හැකි තනපට


තම මවගේ පියයුරු පිළිකාව කල්තියා හඳුනාගැනීමට නොහැකිවීමෙන් සිත් තැවුලට පත් තරුණයෙකු පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමේ තනපටක් නිෂ්පාදනය කර තිබේ.

මෙක්සිකෝ ජාතිකයෙකු වන 18 හැවිරිදි ජූලියන් රියෝස් කන්ටූ සිය මිතුරන් තිදෙනාගේද සහාය ඇතිව නිපදවා ඇති මෙම සුවිශේෂී තනපට හඳුන්වා ඇත්තේ 'ඉවා බ්‍රා' යන නමිනි.

පිළිකාවක් ඇතිවීමට හේතු විය හැකි යම් වෙනස්වීමක් පියයුරු තුළ සිදුවේ නම් ඒ පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීමේ හැකියාවක් මීට ඇති බව මෙම තරුණයා පවසයි.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම නිෂ්පාදනයට ශිෂ්‍ය ව්‍යවසායකයන් සඳහා වූ ජගත් සම්මාන උලෙළේදී ප්‍රථම ස්ථානය හිමිවීමද විශේෂත්වයකි.

ඒ අනුව, මෙම නිෂ්පාදනයේ පර්යේෂණ කටයුතු තවදුරටත් සිදුකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය තමන් වෙත ලැබී ඇත් බව හෙතෙම පවසයි.

මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පවසන ඔහු, පිළිකාවකට හේතුවිය හැකි ගැටිත්තක් වේ නම් එය කරා වැඩි රුධිර ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් ඒ අවට සමේ උෂ්ණත්වය ඉහළ යා හැකි බව කියයි. ඒ අනුව, තනපට තුළ සවිකර ඇති ජීව සංවේදක මගින් මෙම උෂ්ණත්ව වෙනස ග්‍රහණය කරගන්නා බවද පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, නිවැරදි මිනුම් ලබාගැනීම සඳහා කාන්තාවන් විසින් මෙම තනපට අවම වශයෙන් සතියකට විනාඩි 60 - 90 අතර කාලපරාසයක් ඇඟ ලා සිටිය යුතු බවද ඔහු වැඩිදුරටත් පවසයි. නමුත්, මෙහි නිරවද්‍යතාව සනාථ කිරීම සඳහා තවමත් නිසි අත්හදා බැලීමක් සිදුකර නොමැති බැවින් අත්හදා බැලීමක් සිදුකර නොමැති තාක්ෂණයක් මත යැපීම සුදුසු නොමැති බව බ්‍රිතාන්‍යයේ පිළිකා පර්යේෂණ ආයතනය පවසයි.

එනමුදු, මෙම තරුණයා පවසන්නේ පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත බවට විශ්වාස කෙරෙන මෙම විශේෂ තනපටය නිවැරදි පර්යේෂණ හා අත්හදා බැලීම්වලින් පසුව ලබන වසරේදී වෙළෙඳ පොළට නිකුත් කළ හැකි බවයි.



Recommended Articles