2015 වසරේදී කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් එලඹුණු පැරිස් සම්මුතියෙන් ඉවත්වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමත් සමග ලොව පුරා මේ සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබේ.
විශේෂයෙන්ම පැරිස් සම්මුතිය ගැන මුල සිටම කතා කළ වත්මන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරෙස්ට අනුව මෙම තීරණය බරපතල කණස්සල්ල දනවන තීරණයක් විය.
එමෙන්ම, ඇමෙරිකාවේ මෙම ප්‍රකාශය ලෝකයට අතිශය කනගාටුව ඇති කළ දිනයක් ලෙසද ඔහු හඳුන්වා සිටියේය.
මේ අතර, යුරෝපා රාජ්‍යයන් කිහිපයක්ම ඇමෙරිකානු නායකයාගේ මෙම තීරණය හෙළා දැක තිබුණි. කෙසේවෙතත්, ජ්‍යේෂ්ඨ ඇමෙරිකානු රිපබ්ලිකන් සාමාජිකයින් මෙන්ම එරට ගල් අඟුරු කර්මාන්තය මෙම තීරණයට සහාය පළකර තිබුණේ ජනාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරය සමයේ සිදුකළ මැතිවරණ පොරොන්දුවක්ද ඉටුකර ඇති බව පවසමිනි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව පැරිස් සම්මුතිය යනු ඇමෙරිකානු ජනතාවට දඬුවම් ලබාදුන් අවස්ථාවකි. මේ තත්ත්වය තුළ ඇමෙරිකානුවන්ගේ රැකියා මිලියන ගණනකට බලපෑම් එල්ල වී ඇති බව ඔහු කීය.
කෙසේ වෙතත්, ලෝකයේ විවිධ බලපෑම් හා අදහස් හමුවේ ධවල මන්දිරයේදී ප්‍රකාශයක් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දුන්නේ නව ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ අලුත් වගන්ති ඇතුළත් වන්නේ නම් ගිවිසුමට යළි එක්වීමට තමන් සුදානම් බවය.
එමෙන්ම, ප්‍රංශයේ සංචාරයක නිරත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන්ගෙන්ද ඇමෙරිකාවේ මෙම තීරණය සම්බන්ධයෙන් අසා සිටි අවස්ථාවේදී ඔහු සෘජුවම ඇමෙරිකාව දෝෂ දර්ශනයට ලක් නොකර පවසා සිටියේ කණස්සලු නොවන්න, සතුටින් සිටින්න යනුවෙනි.
ඇමෙරිකාව ඇතුළු රටවල් 187ක් එලඹුණු පැරිස් සම්මුතිය තුළින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කට අඩු අගයක පවත්වා ගැනීමට එකඟත්වය පළවී තිබූ අතර, තවදුරටත් එය සෙල්සියස් අංශක 1.5ක මට්ටමට ගෙන ඒම සඳහා උනන්දු කෙරිණි.
එහිදී, මෙම ගිවිසුමට එකඟ නොවූ සෙසු රාජ්‍යයන් වූයේ සිරියාව සහ නිකරගුවාව යන රාජ්‍යයන් පමණි.