පැපරාසි ජෝර්ජ් කුමරු ලුහුබැඳීම ගැන රජ පවුල කිපෙයි


බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා වන විලියම් කුමරාගේ සහ කේම්බ්‍රිජ්හි ආර්යාව වන කේට් කුමරියගේ පුත් ජොර්ජ් කුමරුන්ගේ ඡායාරූප ගන්නා පැපරාසියකුට එරෙහිව එම යුවලගේ නීතිවේදීන් අනතුරු ඇඟවීමක් කර ඇති බව බී.බී.සී.ය පවසයි.

එම නීතිවේදීන් පවසා ඇත්තේ, කුමරුන්ගේ ඡායාරූප ගැනීම නතර නොකළහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

එමෙන්ම, තම පුත් කුමරාට සාමාන්‍ය දරුවෙකු සේ ජීවත් වීමට ඉඩ සලසන ලෙසද රාජකීය යුවල ඉල්ලා ඇතැයිද එම නීතිවේදීහු පවසා සිටිති.

බ්‍රිතාන්‍ය ඔටුන්නට හිමිකම් කියන පෙළපතේ තුන්වැන්නා බිළිඳු ජෝර්ජ් කුමරු බව සැබෑවක් වුවත්, ඔහුටත් උයනට ගොස් සෙසු ළමුන් සමග ක්‍රීඩා කිරීමේ නිදහස තිබිය යුතු බවද රාජකීය පවුල උපුටා දක්වමින් නීතිවේදීහු පවසති.

බ්‍රිතාන්‍ය රජ පවුල හා පැපරාසි අතර නොබිඳෙන සබඳතාවත් පවතනි අතර, මීට පෙර ඩයනා කුමරියටද පැපරාසීන්ගෙන් ගැලවීමක් නොවීය.

අවසානයේදී ඇගේ මරණයත් පැපරාසීන් නිසා සිදුවූ බවට මතයක් පවතී. කෙසේ වෙතත්, එදා පැපරාසීන් ඩයනා කුමරියගේ ඡායාරූප වෙනුවෙන් විශාල මුදලක් උපයා ගත් ආකාරයෙන්ම, අද වනවිට ජෝර්ජ් කුමරුගේ ඡායාරූපවලටත් ඉතා ඉහළ ඉල්ලුමක් හා වෙළෙඳ පොළක් බිහිවී ඇති බව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.

 



Recommended Articles