පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මහතා ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග හෙතෙම සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
අගමැතිවරයාට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති විමර්ශනවලින් අනතුරුව පාකිස්තාන අගමැතිවරයා එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පැනමා ලිපි ගොනු හරහා හෙළි වූ සිද්ධීන් සමග අගමැතිවරයාගේ දරුවන් විදේශීය සමාගම් අතර පැවති සබඳතා මෙන්ම, ඔහුගේ පවුලේ වත්කම් වේගයෙන් වර්ධනය වීම තුළ ඔහුට එරෙහි මෙම පරීක්ෂණ ඇරඹිණි.
පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේදී ඉස්ලාමාබාද් නගරයේ ආරක්ෂාව තර කර පැවති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, නවාස් ෂෙරීෆ් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළද, විශේෂ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව සමග අගමැතිවරයා තවදුරටත් සිය ධුරයේ කටයුතු කිරීම නුසුදුසු බව කියවුණි.
එහිදී, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නා ලෙස පාකිස්තාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය චෞද්‍රි අලි ඛාන් අගමැති ෂරීෆ්ට දැනුම්දී තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගමැතිවරයාගේ දියණිය මර්යම් ෂරීෆ් සහ ඇගේ ස්වාමියා වන සෆ්දර්, මෙන්ම මුදල් ඇමති ඉෂාක් දාර් සහ සෙසු පුද්ගලයන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා විභාග කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබුණි.
කෙසේ වෙතත්, පාකිස්තාන ජනතාව අතරින් අගමැති ධුරයට පත් එකදු පුද්ගලයෙකු හෝ සිය සම්පූර්ණ ධුර කාලය අවසන් කරන තෙක් බලයේ රැඳී නොසිටීමද විශේෂත්වයක් වන අතර, තම ධුරයෙන් ඉවත්වූ ෂෙරීෆ් ද එරට අගමැතිවරයා ලෙස මෙවර කටයුතු කළේ තෙවැනි වරටය. එහිදී, ඔහුට තම පස් අවුරුදු ධුර කාලය අවසන් කිරීමට තිබුණේ තවත් වරසකට අඩු කාලයකි.
මේ අතර, අගමැතිවරයාට එරෙහි නඩු තීන්දුවෙන් මෙන්ම, ඔහුගේ ඉල්ලා අස්වීමෙන් විරුද්ධ පක්ෂ රස කැවිලි බෙදාගත් බවද වාර්තා වෙයි. විශේෂයෙන්ම ජමාත්-ඊ-ඉස්ලාමි කණ්ඩායම මේ අතර ඉදිරියෙන්ම සිටියි. එමෙන්ම, එරට ක්‍රියාත්මක මූලධර්මවාදී කොටස්ද නවාස් ෂෙරීෆ්ගේ ඉල්ලා අස්වීමෙන් සතුටට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.